YouVersion Logo
Search Icon

1 ලේකම් 27

27
හමුදා කණ්ඩායම්
1අවුරුද්ද මුළුල්ලේ මාසයෙන් මාසය, කණ්ඩායම්වලට අදාළ ව රජුට මෙහෙ කිරීමට ආ-ගිය ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන්ගේ ද දහසකගේ සෙන්පතීන්ගේ ද සියයකගේ සෙන්පතීන්ගේ ද ඔවුන්ගේ නිලධාරීන්ගේ ද නාමාවලිය මෙසේ ය; හැම කණ්ඩායමක ම විසිහතර දහස් දෙනෙකි.
2පළමු මස, පළමු කණ්ඩායම බාර ව සිටියේ සබ්දීයෙල්ගේ පුත් යාෂොබෙයාම් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. 3පෙරෙස්ගෙන් පැවත එන්නකු වූ ඔහු පළමු මාසය සඳහා අණ දෙන සියල්ලන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.
4දෙවන මාසයට කණ්ඩායම බාර ව සිටියේ අහෝහීය දෝදයි ය. ඔහුගේ කණ්ඩායමේ නායකයා මික්ලොත් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
5තුන් වන මාසයට තුන් වන අණ දෙන්නා පූජක යෙහෝයාදාගේ පුත් බෙනායා ය. ඔහු ප්‍රධානියා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. 6තිස්දෙනා අතරේ පරාක්‍රමවත් මිනිසා වූයේත්, තිස් දෙනාගේ අණ දෙන්නා වූයේත් මේ බෙනායා ය. ඔහුගේ කණ්ඩායම බාර ව සිටියේ ඔහුගේ පුත් අම්මිසාබාද් ය.
7හතර වන මාසයට හතරවැන්නා වූයේ යෝවාබ්ගේ සහෝදර අසාහෙල් ය. ඔහුට පසුව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
8පස් වන මාසයට පස්වැනි අණ දෙන්නා ඉස්රාහීය ෂම්හූත් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
9හය වන මාසයට හයවැන්නා තෙකෝවාහි, ඉක්කේෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
10හත් වන මාසයට හත්වැන්නා එප්‍රායිම් පුත්‍රයන්ගේ පෙලෝනීය හෙලෙස් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
11අ‍ට වන මාසයට අටවැන්නා සර්හීවරුන්ගේ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
12නව වන මාසයට නවවැන්නා බෙන්යමින් වංශිකයකු වූ අනාතොත්හි අබියෙසෙර් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
13දහ වන මාසයට දසවැන්නා සර්හීවරුන්ගේ නෙටොෆාතීය මහරයි ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
14එකොළොස් වන මාසයට එකොළොස්වැන්නා වූයේ එප්‍රායිම් පුත්‍රයන්ගේ පිරාතෝන්හි බෙනායා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
15දෙළොස් වන මාසයට දොළොස්වැන්නා ඔත්නියෙල්ගේ නෙටොෆාතීය හෙල්දයි ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි.
ගෝත්‍ර වංශ නිලධාරීන්
16ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අනුව:
රූබෙන්වරුන්ට: ප්‍රධාන නිලධාරියා වූයේ සික්රීගේ පුත් එලියේසර් ය.
සිමියොන්වරුන්ට: මයකාගේ පුත් ෂෙෆටියා ය.
17ලෙවීට: කෙමුවෙල්ගේ පුත් හෂබියා ය.
ආරොන්ට: සාදෝක් ය.
18යූදාට: දාවිත්ගේ සහෝදරයකු වූ එලීහු ය.
ඉස්සාකර්ට: මිකායෙල්ගේ පුත් ඔම්රී ය.
19සාබුලොන්ට: ඔබදියාගේ පුත් ඉෂ්මායා ය.
නෆ්තලීට: අස්රියෙල්ගේ පුත් යෙරීමොත් ය.
20එප්‍රායිම්වරුන්ට: අසසියාගේ පුත් හොෂෙයා ය.
මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට: පෙදායාගේ පුත් යෝවෙල් ය.
21ගිලියාද්හි මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට: සෙකරියාගේ පුත් ඉද්දෝ ය.
බෙන්යමින්ට: අබ්නේර්ගේ පුත් යාසීයෙල් ය.
22දාන් සඳහා යෙරොහාම්ගේ පුත් අසරේල් ය.
ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ නායකයින් ඔවුහු ය.
23දාවිත් විසි අවුරුද්දේ පටන් ඊට අඩු වයස් වූවන් ගණන් කළේ නැත. මන්ද අහසේ තරු මෙන් ඉශ්‍රායෙල් ගණනින් වැඩි කරන්නට ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබූ බැවිනි. 24සෙරූයාගේ පුත් යෝවාබ් මිනිසුන් ගණන් කරන්නට පටන් ගත්ත ද අවසන් කළේ නැත. මේ ගණන් කිරීම මගින් ඉශ්‍රායෙල් මත උදහස පැමිණියේ ය. ඒ ගණන දාවිත් රජුගේ ඉතිහාස ලේඛන පොතට ඇතුළත් නො කෙරිණි.
රජුගේ නිලධාරීන්
25රාජකීය ගබඩා බාර ව සිටියේ අදීයෙල්ගේ පුත් අස්මාවෙත් ය.
පිට පළාත්වල ද නගරවල හා ගම්වල ද බළකොටුවල ද ගබඩා බාර ව සිටියේ උස්සියාගේ පුත් යොනාතාන් ය.
26කෙත් වතුවල බිම් අස්වැද්දූ අය බාර ව සිටියේ කෙලූබ්ගේ පුත් එස්රී ය.
27මිදි වතු බාර ව සිටියේ රාමාහි ෂිමෙයි ය.
මිදි වතුවලින් නිපද වූ මිදි යුෂ ගබඩා බාර ව සිටියේ ෂිෆ්මීය සබ්දී ය.
28බටහිර කඳු බෑවුම්හි#27:28 කඳු බෑවුම්හි හෙබ්‍රෙව් ෂෙෆේලා ඔලීව හා අත්තික්කා ගස් බාර ව සිටියේ ගෙදෙර්හි බාල්-හානන් ය.
තෙල් ගබඩා බාර ව සිටියේ යෝවාෂ් ය.
29ෂාරොන් තණ බිම්වල සිටි සත්ව රංචු බාර ව සිටියේ ෂාරොන්හි ෂිර්ටයි ය.
අද්ලායිගේ පුත් ෂාෆාට් මිටියාවත්වල සත්ව රංචු බාර ව සිටියේ ය.
30ඉෂ්මායෙලීය ඕබිල්, ඔටුවන් බාර ව සිටියේ ය.
මෙරොනොතීය යේදෙයා, බූරුවන් බාර ව සිටියේ ය.
31හග්රීය යාසිස්, එළු බැටළු රංචු බාර ව සිටියේ ය.
ඒ සියල්ලෝ ම දාවිත් රජුගේ දේපළ බාර ව සිටි නිලධාරීහු ය.
32දාවිත්ගේ පියාගේ සහෝදරයා වූ යොනාතාන් උපදේශකවරයකු ව බුද්ධිමත් මිනිසකු ව, ලියන්නකු ව සිටියේ ය.
හක්මොනිගේ පුත් යෙහීයෙල්, රජුගේ පුත්‍රයින් බාර ව සිටියේ ය.
33අහිතොෆෙල්, රජුගේ උපදේශකයා වූ අතර
අර්කීය හූෂයි, රජුගේ මිතුරා විය.
34(අහිතොෆෙල්ට පසුව ඔහු වෙනුවට බෙනායාගේ පුත් යෙහෝයාදා ද අබියාතර් ද පත් වූහ.)
රජුගේ හමුදාවේ සෙන්පතියා යෝවාබ් ය.

Currently Selected:

1 ලේකම් 27: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in