YouVersion Logo
Search Icon

1 ලේකම් 23

23
ලෙවීවරු
1දාවිත් මහලු ව, වියපත් කල, තම පුත් සාලමොන් ඉශ්‍රායෙල්හි රජ හැටියට පත් කළේ ය.
2ඔහු ඉශ්‍රායෙල්හි සියලු නායකයින් ද පූජකයින් ද ලෙවීවරුන් ද රැස් කළේ ය. 3ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ තිස් අවුරුදු වයස් වූවන් හා ඊට වැඩි වයස් වූවන් ය. ඔවුන්ගේ මුළු ගණන මිනිසුන් තිස් අටදහසකි. 4දාවිත් කතා කොට, “ඔවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ බලා ගන්නෝ ය. හයදහසක් නිලධාරීන් හා විනිශ්චයකරුවන් වන්නෝ ය. 5හාරදහසක් දොරටුපාලයන් වන්නෝ ය. ප්‍රශංසා කරන පිණිස මා සෑදූ වාදන භාණ්ඩවලින් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වන්නෝ යැ” යි කීවේ ය.
6දාවිත්, ගෙර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් පූජක පන්තිවලට බෙදුවේ ය.
ගෙර්ෂොන්වරු
7ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ:
ලාදාන් හා ෂිමෙයි ය.
8ලාදාන්ගේ පුත්‍රයෝ:
ප්‍රධානියා වූ යෙහීයෙල්, සේතාම් හා යෝවෙල් යන තිදෙනා ය.
9ෂිමෙයිගේ පුත්‍රයෝ:
ෂෙලොමොත්, හසීයෙල් හා හරාන් යන තිදෙනා ය.
(ඔවුහු ලාදාන්ගේ පියවංශයේ ප්‍රධානීන් වූහ.)
10ෂිමෙයිගේ පුත්‍රයෝ:
යහත්, සීනා#23:10 සීනා ග්‍රීක් සහ ලතින් අනුවාදවල සීසා ලෙස වේ. යෙවූෂ් හා බෙරියා ය.
ඔවුහු ෂිමෙයිගේ පුතුන් සතර දෙනා ය.
11යහත් පළමු වැන්නා ය; සීසා දෙවැන්නා ය. එහෙත් යෙවූෂ්ට හා බෙරියාට බොහෝ පුත්‍රයෝ නො වූහ. එබැවින් ඔවුහු එක් පියවංශයක් ලෙස ගණන් ගන්නා ලදහ.
කොහාත්වරු
12කොහාත්ගේ පුත්‍රයෝ:
අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් හා උස්සියෙල් යන හතරදෙනා ය.
13අම්රාම්ගේ පුත්‍රයෝ:
ආරොන් හා මෝසෙස් ය.
ආරොන් හා ඔහුගේ පුත්‍රයෝ, අතිශුද්ධ දෑ කැප කරන්නටත්, ස්වාමින්වහන්සේ අබියස පූජා ඔප්පු කරන්නටත්, උන්වහන්සේට මෙහෙ කරන්නටත්, උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද ප්‍රකාශ කරන්නටත්, සදහට ම වෙන් කරන ලදහ. 14දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ පුත්‍රයෝ, ලෙවී ගෝත්‍රයේ කොටසක් හැටියට ගණන් ගන්නා ලදහ.
15මෝසෙස්ගේ පුත්‍රයෝ:
ගේර්ෂොම් හා එලියේසර් ය.
16ගේර්ෂොම්ගේ පුත්‍රයෝ:
ෂෙබූයෙල් ප්‍රධානියා ය;
17එලියේසර්ගේ පුත්‍රයෝ:
රෙහබියා ප්‍රධානියා ය.
(එලියේසෙර්ට වෙනත් පුත්තු නො වූහ. එහෙත් රෙහබියාගේ පුත්‍රයෝ බොහෝ ය.)
18ඉස්හාර්ගේ පුත්‍රයෝ:
ෂෙලොමිත් ප්‍රධානියා ය.
19හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ:
පළමු වැන්නා යෙරීයා ය, දෙවැන්නා අමරියා ය,
තුන්වැන්නා යහසීයෙල් ය, සිවුවැන්නා යෙකමෙයාම් ය.
20උස්සියෙල්ගේ පුත්‍රයෝ:
පළමු වැන්නා මීකා ය, දෙවැන්නා ඉෂ්ෂීයා ය.
මෙරාරීවරු
21මෙරාරීගේ පුත්‍රයෝ:
මාලී හා මූෂී ය.
මාලීගේ පුත්‍රයෝ:
එලෙයාසර් හා කීෂ් ය.
22(එලෙයාසර් පුතුන් නො ලැබ මිය ගියේ ය. ඔහුට සිටියේ දූවරු පමණකි. ඔවුන්ගේ නෑයින් වන කීෂ්ගේ පුත්‍රයෝ ඔවුන් ආවාහ කර ගත්හ.)
23මූෂීගේ පුත්‍රයෝ:
මාලී, ඒදෙර් හා යෙරේමොත් යන තිදෙනා ය.
24තම පියවංශවලට අනුව ලෙවී පුත්‍රයෝ මොවුහු ය. පියවංශ ප්‍රධානීන් ලෙස, තම නම් යටතේ ලියාපදිංචි වූ තනි තනි වශයෙන් ගණන් ගනු ලැබූ ඔවුහු විසි අවුරුදු වයසේ සිට ඉහළට වයස් වූ ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවකයෝ ය. 25තවද දාවිත් කතා කොට, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම ජනතාවට විවේකය දුන් සේක. උන්වහන්සේ යෙරුසලමේ සදහට ම වාසය කරන සේක; 26එබැවින් මණ්ඩපයවත්, එහි මෙහෙයයට අදාළ භාණ්ඩවත් ලෙවීවරුන්ට තවත් උසුලාගෙන යාම අවශ්‍ය නැතැ” යි පැවසී ය. 27දාවිත්ගේ අවසාන උපදෙස්වලට අනුව විසි අවුරුදු වයස් වූවන් හා ඉන් ඉහළ වයස් වූ ලෙවීවරු ගණන් කරන ලදහ.
28ඔවුන්ගේ නිල කටයුත්ත වූයේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ මෙහෙයේදී ආරොන්-පුත්‍රයින්ට උපකාර කිරීම ය. ඔවුහු මළුව ද ගබඩා කුටි ද සියලු කැප වූ දේ පවිත්‍ර කිරීම ද යන දෙවියන්වහන්සේගේ ගෘහයෙහි වෙනත් නිල කටයුතු බාර ව සිටියහ. 29මේසය මත තබන රොටි ද ධාන්‍ය පූජාව සඳහා පිටි ද නුමුහුන් සිහින් කැවිලි ද පිළිස්සීම හා මුසු කිරීම ද සියලු දේවල ප්‍රමාණ හා මැනීම ද බාර ව සිටියහ. 30තවද ඔවුහු හැම උදයක ම ස්වාමින්වහන්සේට ස්තුති-ප්‍රශංසා පුදන්නට නැගිට සිටින පිණිස පත් වී සිටියහ. ඔවුන් සවස ද එසේ ම කළ යුතු විණි. 31සබත් දිනවලදී, නව සඳ දිනවලදී සහ නියමිත මංගල්‍යවලදී ස්වාමින්වහන්සේට දවන යාග පූජා පුදන හැම අවස්ථාවකදී ම ඔවුහු තමනට පවරන ලද නියෝග ප්‍රකාරයට නියම ගණනින් යුතු ව නිති පතා ස්වාමින්වහන්සේ අබියස මෙහෙ කරන පිණිස ද පත් වී සිටියහ.
32එසේ ඔවුන් හමුවීමේ කූඩාරම සඳහාත්, ශුද්ධස්ථානය සඳහාත්, ස්වාමින්වහන්සේගේ ගෘහ මෙහෙයේදී, ආරොන්ගෙන් පැවත එන තම සහෝදරයන් සඳහාත්, තම සේවයේ වගකීම් ඉසුළූහ.

Currently Selected:

1 ලේකම් 23: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in