1 ලේකම් 19
19
අම්මොන්වරුන් දාවිත්ගේ මිනිසුන්ට නිග්රහ කිරීම
1කලකට පසු අම්මොන්වරුන්ගේ රජු වූ නාහාෂ් මිය ගියේ ය. ඔහුගේ පුත්රයා ඔහු වෙනුවට රජ විය. 2එවිට දාවිත්, “මම නාහාෂ්ගේ පුත් හානූන්හට කරුණාව දක්වන්නෙමි. මන්ද ඔහුගේ පියා මට කරුණාව පෑවේ යැ” යි කියා, හානූන්ගේ පියා ගැන ඔහු අස්වසන්නට දූත පිරිසක් ඔහු වෙත යැවී ය.
දාවිත්ගේ මිනිස්සු හානූන් වෙත, ඔහු අස්වසන්නට අම්මොන් දේශයට පැමිණියහ. 3එහෙත් අම්මොන් අධිපතීහු හානූන් අමතා, “දාවිත් ඔබ වෙත සනසන්නන් එවීමෙන් ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යැයි ඔබ සිතනවා ද? ඔහුගේ මිනිසුන් පැමිණ සිටින්නේ දේශය ගැන විපරම් කර, ඔත්තු බලා, එය අල්ලා ගන්නට නො වේ දැ?” යි කීහ. 4එබැවින් හානූන්, දාවිත්ගේ මිනිසුන් අල්ලා, ඔවුන් හැම කෙනකුගේ ම රැවුල් බූ ගා, තට්ටම් දක්වා ඔවුන්ගේ හැඳිවත් කපා දමා, ඔවුන් යන්නට හැරියේ ය.
5ඔවුහු පිට වී ගියහ. ඒ මිනිසුන් ගැන දාවිත්ට දැන් වූ කල, ඔහු ඔවුන් මුණගැසෙන්නට පණිවුඩකරුවන් යැවී ය. මන්ද ඔවුහු මහත් ලජ්ජාවට පත් ව සිටියහ. එබැවින් රජු, “ඔබේ රැවුල් වැවෙන තුරු යෙරිකෝවේ නැවතී, පසුව එන්නැ” යි දැන්වී ය.
6තමන් දාවිත්ට පිළිකුල් වූ වග අම්මොන්වරු දුටු කල, හානූන් හා අම්මොන්වරු අරාම්-නහරායිම් ද අරාම්-මාකා ද සෝබා ද වෙතින් යුධ රථ හා අසරුවන් කුලියට ගන්නට රිදී තලෙන්ත දාහක්#19:6 මෙට්රික් ටොන් 34ක් පමණ. යැවූහ. 7රථ තිස්දෙදහසක් ද මාකාහි රජු සමඟ ඔහුගේ හමුදාව ද ඔවුන් විසින් කුලියට ගනු ලැබූහ. ඔවුහු අවුත්, මෙදෙබා අසල කඳවුරු ගසා ගත්හ. අම්මොන්වරු ද තම නගරවලින් රැස් කරන ලදුව යුද්ධයට පිටත් ව ගියහ.
8දාවිත් ඒ වග ඇසූ කල, යෝවාබ් සමඟ මුළු යුධ හමුදාව පිටත් කර යැවී ය. 9අම්මොන්වරු පිටතට අවුත්, පුර දොරටු පිවිසුමෙහි සටනට පෙළ ගැසුණහ. පැමිණ සිටි රජවරු එළිමහනෙහි වෙනම සිටියහ.
10එවිට යෝවාබ්, තමාට එරෙහිව ඉදිරියෙන් හා පිටුපසින් වූ යුද්ධ සූදානම දැක, ඉශ්රායෙල් හේවායින්ගෙන් දක්ෂයින් තෝරා, අරාම්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්වී ය. 11ඔහු සෙසු මිනිසුන් තම සහෝදර අබිෂයි යටතේ තැබී ය. ඔවුහු අම්මොන්වරුන්ට එරෙහිව පෙළ ගස්වනු ලැබූහ. 12යෝවාබ්, කතා කරමින්, “අරාම්වරුන් මට වඩා බලවත් වුණොත්, මගේ උපකාරයට ඔබ ආ යුතුයි. එහෙත් අම්මොන්වරුන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාර කරන්නම්. 13ශක්තිමත් ව සිටිමින්, අපි අපගේ ජනයා හා අපගේ දෙවියන්වහන්සේගේ පුරවර උදෙසා එඩිතර ව සටන් කරමු. ස්වාමින්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි යහපත් ව පෙනෙන දේ කරන සේක්වා!” යි පැවසී ය.
14ඉන්පසු යෝවාබ් හා ඔහු සමඟ වූ මිනිස්සු අරාම්වරුන්ට එරෙහිව සටනට ඉදිරියට ගිය කල, ඔවුහු ඔහු ඉදිරියෙන් පලා ගියහ. 15අරාම්වරුන් පලා යනු දුටු අම්මොන්වරු ද යෝවාබ්ගේ සහෝදර අබිෂයි ඉදිරියෙන් පලා ගොස්, පුරවරය තුළට වැදුණහ. එවිට යෝවාබ්, යෙරුසලමට හැරී ආවේ ය.
16ඉශ්රායෙල් අතින් තමන් පැරදුණු වග දුටු අරාම්වරු, පණිවුඩකරුවන් යවා, ගඟ එගොඩ සිටි අරාම්වරුන් හදද්එසෙර්ගේ හමුදාවේ අණ දෙන්නා වන ෂෝෆාක්ගේ නායකත්වය යටතේ ගෙන්වා ගත්හ.
17දාවිත්ට ඒ වග දැන් වූ කල, ඔහු මුළු ඉශ්රායෙල් එක් රැස් කොට, යොර්දානෙන් එතෙර ව, ඉදිරියට ඇදී, අරාම්වරුන්ට මුහුණ ලා ඔවුන් යුද්ධයට පෙළ ගැස්වී ය. දාවිත් අරාම්වරුන්ට එරෙහිව යුද්ධයට පෙළ ගැසුණු කල, ඔවුහු ඔහු සමඟ සටන් කළහ. 18එහෙත් ඔවුහු ඉශ්රායෙල් වෙතින් පලා ගියහ. දාවිත් අරාම්වරුන්ගේ රථවල සිටි මිනිසුන් හත්දහසක් ද පාබළ හමුදාව හතළිස් දහසක් ද මරා දමා, ඔවුන්ගේ හමුදාපති වූ ෂෝෆාක් ද මරා දැමී ය.
19තමන් ඉශ්රායෙල් අතින් පරාජය වී සිටින වග දුටු හදද්එසෙර්ගේ සේවකයෝ දාවිත් හා සමාදාන වී, ඔහුට යටත් වූහ.
එබැවින් අරාම්වරු තවදුරටත් අම්මොන්වරුන්ට උපකාර කරන්නට කැමති නො වූහ.
Currently Selected:
1 ලේකම් 19: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.