YouVersion Logo
Search Icon

සලමොන්ගේ ප්‍රඥාව 11

11
පාළුකරය මැදින් ප්‍රඥාව මඟපෙන්වීම
1ශුද්ධ දිවැසිවරයෙකු මඟින් ප්‍රඥාව ඔවුන්ගේ ක්‍රියා සාර්ථක කළා ය.
2ඔව්හු ජන ශූන්‍ය පාළුකරයක ගමන් කොට පහසුවෙන් යා නොහැකි තැන්වල කූඩාරම් බැන්දෝ ය.
3ඔව්හු තමන්ගේ සතුරන්ට එරෙහි ව නැඟිට ඔවුන් පරාජය කළෝ ය.
4ඔව්හු පිපාසාවෙන් සිටින විට ඔබට හඬගැසුවෝ ය.
එවිට ඔවුන් හට ගිරි කඳුරකින් වතුර දෙනු ලැබී ය.
මෙලෙස දැඩි කළු ගලින් ගලා ආ ජලයෙන් ඔවුන්ගේ පිපාසය සන්සිඳවිණි.
5මෙලෙස ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දීමට ගත් දේ ම ඔවුන්ගේ විපතේ දී ඔවුන්ට ප්‍රයෝජනය විය.
මිසර වැසියන්ට පහර දීම
6-8ඔබේ සතුරන්, ඔබේ සෙනඟගේ සිඟිත්තන් ඝාතනය කළ යුතු යයි නියෝග කළ විට, හැම දා පිටාර ගලන ඔවුන්ගේ ගංගාව ඔබ කැළඹෙන්නට සලස්වා, එය ලෙයින් දුගඳ හමන තැනක් කළ සේක.
ඔබ ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කළ අයුරු ඔවුනට ම දක්වන පිණිස, පාළුකරයෙහිදී ඔබේ සෙනඟට පිපාසා වන්නට සැලැසූ සේක.
ඉන්පසු, බලාපොරොත්තු රහිත ව සිටිය දී ම, ඔවුනට පමණටත් වැඩියෙන් ජලය දුන් සේක.
9ඔබේ දයාව පෙන්වන තරවටුවක් වැනි ඔවුන්ගේ දුක් කරදරවලින් ඔව්හු, උදහස් තීන්දුවලින් දඬුවම ගැන ඔබේ දයාව පෙන්වන තරවටුවක් වැනි ඔවුන්ගේ කරදරවලින්, ඉගෙනගත්හ.
10පියෙකු දරුවන්ට දඬුවම් දෙන පරිදි ඔබ ඔවුන් පරික්ෂා කළ සේක.
එහෙත්, දරුණු රජෙකු යටත් වැසියන් වරදට පත්කොට හෙළා දකින ලෙස ඔබ අනිත් අය දැඩි ලෙස විභාග කළ සේක.
11ඔව්හු දුර හෝ ළඟ හෝ සිටියාහු වෙත් වා, වෙහෙසට පත් වී සිටියෝ ය.
12ඔවුන් වෙළී සිටි වේදනාව දෙගුණයක් විය.
අතීතය සිහි වන විට සුසුම්ලෑම දෙගුණ විය.
13ඔවුන්ට දඬුවම් දුන් දේ ම අනිත් අය ප්‍රීති ප්‍රමෝද කර වූ බව ඔවුන් ඇසූ විට ඔව්හු ඒ ක්‍රියා තුළ දෙවිඳුන් දුටහ.
14සියල්ල නිම වූ විට බොහෝ කලකට පෙර ඔවුන් පිටත දමා අනතුරට පාත්‍ර කොට ඉන්පසු ව සමච්චලයට ලක් කළ තැනැත්තා ගැන ඔව්හු මවිතයට පත් වූ හ.
ඔවුන් එසේ කළේ පිපාසය දැහැමියාට වඩා වෙනස් ලෙස ඔවුනට දැනුන බැවිනි.
මිසරය ගැන දෙවි සමිඳුන්ගේ ඉවසීම
15බුද්ධි හීන නාගයන් සහ පිළිකුල් වන සතුන් නමදින පිණිස ඔවුන්ගේ මෝඩ පවිටු සිතුවිලි ඔවුන් නොමඟ යැවූ බැවින් ඔවුන්ට දඬුවම් කරන පිණිස ඔබ බුද්ධි විරහිත සතුන් විශාල ගණනක් මවා
16පාපයේ උපකරණ පාපයට දෙන දඬුවම වන බව ඔවුන්ට ඉගැන්වූ සේක.
17-19ඔවුන් පිට වග වලසුන් හා රුදුරු සිංහයන් එවීමට ද අලුතෙන් මවන ලද කෝපාවිෂ්ට වූ බිහිසුණු හුස්ම හෙළන, දුගඳ දුම් රොද පිට කරන නොඇසූවිරූ සතුන් හෝ බියජනක ගිනි පුපුරු පිට කරන එක පහරකින් ඔවුන් නසා වනසාලීමටත් ඔවුන්ගේ බියකරු පෙනුමෙන් ම ඔවුන් වනසාලීමටත් සමත් සතුන් හෝ එවීමට ද අනියත ද්‍රව්‍යයෙන් ලොව මැවූ ඔබේ හස්තය, එනම්, ඔබේ සව් බලැති හස්තය පමා නො වී ය.
20තවද, මොවුන් නොමැති ව පවා ඔබේ බලයේ හුස්මෙන් ගසාගෙන යනු ලැබ ඔබේ සාධාරණකමින් ලුහුබඳිනු ලැබ ඔබේ එක හුස්ම බිඳක බලයෙන් ඔවුන් මැරී වැටෙන්නට ඉඩ තිබිණි.
ඔබ ගණන, මිම්ම, කිරුම, ඇතුව සියල්ල පිළියෙළ කළ සේක.
ඉවසීම විස්තර කිරීම
21ඔබේ මහා සවිශක්තිය නිතර ඔබට අවනත ය.
ඔබේ බාහු බලයට එරෙහි ව නැඟිටිය හැක්කේ කාට ද?
22ඔබ අබිමුව මුළු ලොව තරාදිය උස් පහත් කළ හැකි දූවිලි කුඩක් හා සමාන ය.
පොළොවට වැටෙන උදය කාලයේ මීදුම් බිඳක් හා සමාන ය.
23එහෙත්, ඔබට සියල්ල කළ හැකි බැවින් ඔබ සියල්ලන් හට දයාන්විත ය.
මිනිසුන් තම පව් ගැන පසුතැවී සිත් හරවා ගන්න පිණිස ඔබ ඔවුන්ගේ පාප ගැන නොසැලෙන්නෙහි ය.
24එසේ ය, මිහි මත ඇති සියල්ලට ඔබ ප්‍රේම කරන සේක.
ඔබ විසින් සාදන ලද කිසිවක් ඔබ පිළිකුල් නොකරන සේක.
මන්ද, ඔබ යමකට ද්වේෂ කළ සේක් නම්, ඔබට එය නොසාදන්න ඉඩ තිබිණි.
25ඔබට අභිමත නොවූ සේක් නම්, යමක් පවතින්නේ කෙසේ ද?
ඔබ නොසෑදූ සේක් නම්, යමක් ආරක්ෂා වන්නේ කෙසේ ද?
26සමිඳුනි, ජීවමාන සියල්ලට ප්‍රේම කරන්නාණෙනි, සියල්ල ඔබ සතු බැවින් ඔබ සියල්ල ම ආරක්ෂා කරන සේක.
සියල්ල තුළ ඔබේ අමරණීය ආධ්‍යාත්මය විනිවිද යයි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in