YouVersion Logo
Search Icon

ප්‍රේම ගී 5

5
පෙම්වතා
1මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි.
මී වදේ සමඟ මී පැණි කෑවෙමි.
කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි.
මිත්‍රයෙනි, කන්න;
ප්‍රිය තැනැත්තෙනි, බොන්න.
එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න.
හතර වන ගීතය
පෙම්වතී
2මම නිදාගෙන සිටියෙමි.
එහෙත්, මාගේ සිත පිබිද තිබිණි.
අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ.
ඔහු මා අමතමින් මෙසේ කී ය;
මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න.
මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.
3මාගේ හැට්ටය ගලවා තැබීමි.
මා එය යළිත් අඳින්න ද?
මා පාද සේදීමි;
ඒවා මා කෙසේ කිළුටු කරම් ද?
4මා පෙම්වතා දොර සිදුරෙන් අත දැමූ විට මාගේ හදවත ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය.
5මා පෙම්වතාට දොර අරින්න මම නැඟිට්ටෙමි.
දොරේ අගුල ඇල්ලූ විට ගන්ධරසය මාගේ අත්වල ද දියර ගන්ධරස මාගේ ඇඟිලිවල ද තැවරිණි.
6මා පෙම්වතාට මම දොර ඇරියෙමි.
එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි.
ඔහු කතා කළ විට මට සිහි නැති විය.
මම ඔහු සෙවීමි;
එහෙත්, සම්බ නො වී ය.
මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.
7නුවර මුර සෙබළු මට හමු වී මට පහර දී තුවාළ කළහ.
පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්හ.
8ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.
ගායක පිරිස
9කාන්තාවන්ගෙන් ඉතා ශෝභන තැනැත්තිය, අන් පෙම්වතෙකුට වඩා ඔබේ පෙම්වතාට ඇති අමුතු දෙය කුමක් ද?
ඔබ මෙසේ අපට දිවුරන්න කියන්නේ අන් පෙම්වතෙකුට වඩා ඔබේ පෙම්වතාට ඇති කුමන අමුතු දේ නිසා ද?
පෙම්වතී
10මා පෙම්වතා කඩවසම් ය;
දස දහසක් අතරේ සොයාගත හැකි ඔහු උත්තමයෙකි.
11ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය.
ඔහුගේ කෙස් රොද රැලි සහිත ය;
කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය.
12ඔහුගේ දෙනෙත් කිරෙන් සේදී, හොබනා ලෙස ඇල දොළ ළඟ සිටින පරෙවියන් වැනි ය.
13ඔහුගේ දෙකොපුල් සුවඳ ගස් පාත්තියක් ද සුවඳ පැළ ඇති පස් කඳු ද මෙන් ය.
ඔහුගේ දෙතොල් මානෙල් මෙනි;
දියර ගන්ධරස එයින් වෑස්සෙන්නේ ය.
14ඔහුගේ දෑත පුෂ්ටිමත් ය;
ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත.
ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.
15ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය.
ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය.
කිහිරි ගස් මෙන් අසමසම ය.
16ඔහුගේ මුඛය ඉතා මිහිරි ය.
එසේ ය, ඔහු මුළුමනින් ම පියකරු ය.
ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා මේ ආකාර ය;
මාගේ මිත්‍රයා මෙබන්දෙක් ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in