රූත්ගේ කථාව 2:5-18
රූත්ගේ කථාව 2:5-18 SNRV
බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය. සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය. ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.” එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.” රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය. බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි. ඔබ කළ යහපතට සමිඳාණන් වහන්සේ ඔබට සෙත සලසන සේක් වා; ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ රැකවරණය සොයා පැමිණි ඔබට උන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!” එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය. කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය. ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න. ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.” මෙසේ හවස් වනතුරු රූත් කෙතෙහි කරල් ඇහුලුවා ය. ඈ අහුලාගත් කරල්වලින් ධාන්‍ය සූරා ගත්විට එය කිලෝග්‍රෑම් දහයක් පමණ විය. ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය.



![[Ruth] Recognizing the Covenant Relationship රූත්ගේ කථාව 2:5-18 Sinhala New Revised Version 2018](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32171%2F1440x810.jpg&w=3840&q=75)

