YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 1:7-18

රූත්ගේ කථාව 1:7-18 SNRV

ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ. නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා! තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්, “අනේ, එසේ කළ නොහැකි ය. ඔබ සමඟ ඔබේ සෙනඟ වෙත අපි එන්නෙමු”යි කී හ. එවිට නයෝමි උත්තර දෙමින් මෙසේ කීවා ය: “මාගේ දූවරුනි, ඔබ ආපසු යන්නට ම ඕනෑ ය. මා සමඟ එන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද? ඔබට පුරුෂයන් වශයෙන් දීමට තවත් පුතුන් මාගේ කුසෙන් දැරීමට මට පුළුවන් ද? මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්, ඔවුන් නියම වයසට පැමිණෙන තෙක් බලා සිටින්නට ඔබට හැකි ද? ඒ බලාපොරොත්තුවෙන් අන් කෙනෙකු හා විවාහ නොවී සිටීමට ඔබට පුළුවන් ද? මාගේ දූවරුනි, මෙය කරන්නට බැරි දෙයකි. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සිටින බැවින් මාගේ දුක ඔබේ දුකට වඩා දැඩි ය.” ඔව්හු නැවතත් හඬා වැලපෙන්නට පටන්ගත්හ. ඔර්පා තම නැන්දම්මා සිඹ සමුගෙන තමාගේ නෑදෑයින් වෙත ගියා ය. එහෙත්, රූත් තම නැන්දම්මාට ඇළුම්කමින් බැඳී සිටියා ය. එවිට නයෝමි රූත්ට මෙලෙස කීවා ය: “බලන්න, ඔබේ නෑනා තම නෑදෑහිතවතුන් වෙත ද තම කුල දෙවියා වෙත ද ආපසු ගියා ය. ඔබත් ඈ සමඟ යන්න.” එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය. ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!” තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය.

Free Reading Plans and Devotionals related to රූත්ගේ කථාව 1:7-18