YouVersion Logo
Search Icon

රෝම 3:21-30

රෝම 3:21-30 SNRV

එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය. සියල්ලෝ ම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත් කර දුන් ගැළවීම කරණකොටගෙන, සියල්ලෝ ම නොමිලයේ දමිටු බවට පත් කරනු ලැබ සිටිති. ඇදහිල්ලෙන් පව් කමාව ලබනු සඳහා, ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කෙළේ, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස ය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන්, මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේ දී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත්, ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිටු බවට පමුණුවන බවත් පෙන්වන සේක. එසේ නම්, අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද් ද? කොහෙත් ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුව ද? ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිපත්ති අනුව ද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුව ය. මන්ද, මනුෂ්‍යයෙකු දමිටු බවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව, ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු. දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක් ද? විජාතීන්ගේත් දෙවියන් වහන්සේ නොවන සේක් ද? එසේ ය, විජාතීන්ගේත් දෙවියන් වහන්සේ ය. මන්ද, වැඩ සිටින්නේ එක ම දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ චර්මඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, එසේ ම අචර්මඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, දමිටු බවට පමුණුවන සේක.