YouVersion Logo
Search Icon

ගීතාවලිය 36

36
මිනිසාගේ දුෂ්ටකම
සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි.
1 # රෝම 3:18 දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත;
ඔහු තුළ දේව ගරුබිය නැත.
2සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.
3ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත;
ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.
4ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි;
අයහපත් මඟක ම හැසිරෙයි;
නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.
දෙවියන් වහන්සේගේ යහපත්කම
5සමිඳාණන් වහන්ස, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි;
ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.
6ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය;
ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය.
සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.
7ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද?
නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.
8ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති;
ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.
9ජීවන උල්පත ඔබ වෙත ඇත;
ඔබේ එළියෙන් අපි එළිය දකිමු.
10ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.
11උඩඟු අය මට පහර නොදෙත් වා!
නපුරු අය මා පලවා නොහරිත් වා!
12දුදනෝ බිමට වැටී පෙරළී සිටිති.
ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in