YouVersion Logo
Search Icon

ගීතාවලිය 132

132
දෙව් මැදුර ගැන ප්‍රශංසා ගීයක්
1සමිඳාණන් වහන්ස, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව.
2ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව:
3“මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි;
4මම විවේකය නොගනිමි;
දෑස පියා නොගනිමි.
5සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”
6 # 2 වංශා 6:41-42 බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු.
වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.
7අපි එතුමාණන්ගේ මණ්ඩපවලට යන්නෙමු;
එතුමාණන්ගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.
8සමිඳුනි, නැඟිට ඔබේ බල මහිමයේ සංකේතය වන ගිවිසුම් කරඬුව ඇති ව, ඔබේ විශ්‍රාම ස්ථානයට වැඩිය මැනව.
9ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා!
ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!
10ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.
11 # 2 සාමු 7:12-16; 1 වංශා 17:11-14; ගීතා 89:3-4; ක්‍රියා 2:30 සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක:
“නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
12නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
13සමිඳාණෝ සියොන් තෝරාගත් සේක.
සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.
14මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ.
මම මෙහි වැඩ වසන්නෙමි;
මම ඊට කැමැති වෙමි.
15සියොන්හි වැසියන්ට ආහාර බහුලත්වයෙන් මම ආසිරි දෙන්නෙමි;
එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.
16එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි.
එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය.
17 # 1 රාජා 11:36 එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි.
මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.
18ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි.
එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 132