YouVersion Logo
Search Icon

හිතෝපදේශ 24

24
- 19 -
1පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.
2ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය;
ඔවුන්ගේ එක ම කතාව නපුරක් කිරීම ය.
- 20 -
3ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි.
4එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.
- 21 -
5පැණවතා බලවතාට වඩා උදාර ය.
බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය.
6රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය;
උපදේශකයන් වැඩි වූ තරමට විජය සිකුරු ය.
- 22 -
7මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි;
උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය.
- 23 -
8කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති.
9මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය.
උඩඟු මිනිසා සෙසු අයට පිළිකුලකි.
- 24 -
10අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.
- 25 -
11මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න;
ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න.
12“මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද?
ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද?
එක එක මිනිසාගේ එක එක ක්‍රියාවට විපාක නොදෙන්නේ ද?
- 26 -
13මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය;
කටට රස ය;
එය පානය කරන්න.
14ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය;
එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි.
ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.
- 27 -
15දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න;
ඔහුගේ වස්තුව කොල්ල නොකන්න.
16දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි;
එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය.
- 28 -
17ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න;
ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න.
18ඔබේ ඒ ප්‍රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත.
සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත.
- 29 -
19නපුරන් ගැන නොකිපෙන්න;
දුදනන් ආදර්ශයට නොගන්න.
20නපුරන්ට අනාගතයක් නැත;
නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත.
- 30 -
21මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න;
ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න.
22මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත.
ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද?
තවත් උපදේශ
23මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය:
අධිකරණයේ දී පක්ෂපාත ව ක්‍රියා කිරීම යුතු නැත.
24“වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත.
ජාතීන් ඔහු හෙළා දකිනු ඇත.
25එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි;
ජනතාව ඔහුට සෙත් සිරි පතති.
26අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි.
27කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.
28හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න;
ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න.
29“ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි;
ඔහු කළ දෙයට සෑහෙන පළියක් ගනිමි”යි නොකියන්න.
30මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි.
31එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි.
32මම එය හොඳින් බලා, තේරුම්ගතිමි.
මේ පාඩම ඉගෙනගතිමි:
33 # හිතෝ 6:10-11 තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න,
34එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හිතෝපදේශ 24