හිතෝපදේශ 20
20
1මද්‍යපානය කේලාම්කරුවෙකි;
සුරාපානය කලහකරුවෙකි;
බීමත්කමින් මුළාවෙන්නා මෝඩයෙකි.
2රාජ කෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරු ය;
රජුන් කෝප කරන්නා සිය පණට හානියක් පමුණුවාගනියි.
3ඕනෑ ම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකි ය;
ඉන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි.
4නියම කන්නයේ දී වැපිරීමට අලස වන ගොවියාට කපන කාලයේ දී අස්වැන්නක් නැත.
5මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය;
නැණනුවණ ඇති අය එය ඇදගනිති.
6සිය පක්ෂපාතකම ගැන පුරසාරම් දොඩන අය බොහෝ ය,
එහෙත් සැබෑ විශ්වාසී කෙනෙකු සෙවීම කළුනික සෙවීමකි.
7සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.
8සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.
9“මගේ සිත පිරිසිදු ය;
මගේ පව් සේදී ඇතැ”යි කිය හැකි කෙනෙක් මොලොව ඇද් ද?
10දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත.
ඒවා සමිඳුන් හට පිළිකුලකි.
11ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.
12ඇසීමට කණ ද, බැලීමට ඇස ද යන දෙක ම මැවුයේ සමිඳාණෝ ය.
13නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත.
නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.
14පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළෙඳාට දොස් නඟයි,
එහෙත් එතැනින් ගිය විට තම වාසිය ගැන කයිවාරු කියයි.
15ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.
16අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න;
එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
17සොරාගත් කෑම කටට රස ය, එහෙත් පසු ව එය කටේ පස් මෙන් ය.
18හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත;
සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.
19වාචාලයා රහස් එළිදරව් කරයි;
දොඩමලු අයගෙන් ඈත් වන්න.
20පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගන’ඳුරේ නිවී යන පහනක් වැනි ය.
21මුල දී වහා ගොඩනඟන සම්පතින් අන්තිමේ දී වැඩි සෙතක් නැත.
22නපුරට නපුර කරමි යි නොකියන්න, සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න, එතුමාණෝ නුඹ සුරකින සේක.
23දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි, හොර තරාදි සුදුසු නැත.
24මිනිසෙකුගේ ගමන් මඟ සමිඳාණෝ මෙහෙය වන සේක, එසේ නම්, යමෙකුට තමා යන මඟ තේරුම්ගත හැකි ද?
25බාරයක් වෙන්න පෙර සිතා බලන්න,
බාර වීමෙන් පසු ළතැවීමෙන් පලක් නැත.
26නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.
27මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි;
එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි.
28කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි;
දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි.
29යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ;
වෘද්ධයන්ගේ ගෞරවය ඔවුන්ගේ පැසුණු හිස වේ.
30වැරදි මඟ හරි මඟ කරගැනීමට නම් ඇතැම් විට දුක් බර අත්දැකීම් අවශ්‍ය වේ.
Currently Selected:
හිතෝපදේශ 20: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in