ගණන් කථාව 30
30
බාර පිළිබඳ නියෝග
1මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර මූලිකයන්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මෙය වේ: 2#ද්වි.නී. 23:21-23; මතෙ 5:33‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.
3‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, 4‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය. 5එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.
6‘තවද ඈ බාර වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ විවාහ වී 7ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. 8එහෙත්, ඇගේ සැමියා එය අසා යම් දිනක ඈට ඒවා තහනම් කළොත්, ඈ කළ බාර ද යමකින් වැළකීමට දුන් පොරොන්දු ද කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.
9‘වැන්දඹුවක හෝ දික්කසාද වූ ස්ත්‍රියක හෝ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඔවුන් ඉටු කළ යුතු ය.
10‘විවාහක ස්ත්‍රියක බාරයක් වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ 11ඇගේ සැමියා ඒ ගැන අසා ඔහු නිහඬ ව සිටිමින් ඈට ඒවා තහනම් නොකෙළේ නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. 12එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. 13විවාහක කාන්තාවක කරන බාර සහ යමකින් වැළකීමට දෙන පොරොන්දු වලංගු කිරීමට හෝ අවලංගු කිරීමට හෝ ඇගේ සැමියා හට බලය පැවරේ. 14එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන දවසින් දවස නිහඬ ව සිටී නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල වලංගු ය. ඔහු ඒවා ගැන ඇසූ දින සිට ම නිහඬ ව සිටින බැවින් ඔහු ඒවා අනුමත කෙළේ ය යි සැලකේ. 15එහෙත්, ඔහු ඒවා ගැන අසා කලක් ගිය පසු ඒවා අවලංගු කළොත්, ඈට පැවරෙන වරද ගැන ඔහු වරදකරුවා වනු ඇත.’ ”
16සැමියා සහ බිරිඳ අතර ද පියා සහ තම ගෙදර වසන තරුණ දුව අතර ද වලංගු වන, දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ නියෝග මේවා ය.
Currently Selected:
ගණන් කථාව 30: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in