ගණන් කථාව 22:15-22
ගණන් කථාව 22:15-22 SNRV
එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය. ඔව්හු බාලාම් වෙත පැමිණ, “ශිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියනු ඇත: ‘කරුණාකර, මා වෙත එන්නට බැහැ නොකියන්න. මම ඔබට ගරු සම්මාන ප්‍රදානය කරමි, ඔබ ඉල්ලන්නේ කුමක් ද, ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර, මෙහි පැමිණ, මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න’ කියා ඉල්ලා සිටින්නේ ය”යි සැළ කළහ. එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය. එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය. එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක. බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය. බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය.




