YouVersion Logo
Search Icon

නාහුම් 1

1
1 # යෙසා 10:5-34; 14:24-27; ශෙප 2:13-15 මෙය නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි; එල්කොෂ් වැසියෙකු වූ නාහුම්ගේ දර්ශන පොත ය.
නිනිවය ගැන සමිඳුන්ගේ උදහස
2සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක. 3සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය. 4උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි. 5උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති. 6උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.
7සමිඳාණන් වහන්සේ යහපත් ය. දුක් විපත් ඇති විට උන් වහන්සේ බලකොටුවක් වන සේක. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් උන් වහන්සේ දන්න සේක. 8එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගො‍ස් අන්ධකාරයට නෙරපාදමන සේක. 9ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කුමන කුමන්ත්‍රණයක් කරන්නහු ද? උන් වහන්සේ එක පහරකින් ඔබ විනාශ කරන සේක. දෙවරක් උන් වහන්සේට විරුද්ධවන්න කිසිවෙකුට නොහැකි ය. 10උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.
11සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය. 12සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි. 13අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”
14අසිරියන්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේගේ නියෝගය මෙය වේ: “ඔවුන්ගේ නාමය තවත් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ගේ දේවාලවල ඇති කැපූ රූප හා වාත්තු පිළිම මම විනාශ කර දමන්නෙමි. ඔවුන් නීච නිසා ඔවුන්ගේ මිනී වළ මම පිළියෙළ කරන්නෙමි.”
15 # යෙසා 52:7 අන්න, ශුභාරංචියක් රැගත් පණිවුඩකාරයෙක් කඳු උඩින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්න ය. ජුදා ජනයෙනි, ඔබේ මංගල්‍යය පවත්වන්න; බාරහාර ඉටු කරන්න; නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝ ය. ඔව්හු සහමුලින් ම සිඳදමනු ලැබූ හ.

Currently Selected:

නාහුම් 1: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for නාහුම් 1