YouVersion Logo
Search Icon

ජෝෂුවා 24:14-24

ජෝෂුවා 24:14-24 SNRV

“එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.” සෙනඟ පිළිතුරු දෙමින්, “අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය. ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක. ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය. සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය. ජෝෂුවා කතා කරමින්, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය. “එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ”යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය. “අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.

Free Reading Plans and Devotionals related to ජෝෂුවා 24:14-24