YouVersion Logo
Search Icon

ජෝබ් 22

22
එලිපස්ගේ තුන් වන කතාව
1ඉන්පසු එලිපස් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 # ජෝබ් 35:6-8 “මිනිසාගෙන් දෙවි තුමන් හට කුමන ප්‍රයෝජනයක් ඇද් ද?
පැණවතෙකුගෙන් වුවත් කවර ප්‍රයෝජනයක් ඇද් ද?
3ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද?
ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද?
4එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.
5එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි.
ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි.
6ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය;
ඇඳුම් නැති අයගෙන් රෙදිපිළි උදුරා ගත්තෙහි ය.
7පිපාසයෙන් පෙළුණු අයට ඔබ වතුර දුන්නේ නැත;
බඩගිනි අයට කෑම දුන්නේ නැත.
8මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය.
9ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය.
අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය.
10ඉතින්, ඔබ වටකර මලපත් ඇත.
හදිසි භීතිය ඔබ කළඹන්නේ ය.
11ඔබේ දෑස නොපෙනෙන ලෙස එළිය අඳුරට හැරෙයි.
ජලධාරා ගලා විත් ඔබ වසාගන්නේ ය.
12සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද?
බබළන තරු කොතරම් දුර දැ යි බලන්න.
13එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය:
‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද?
විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’
14මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?
15දුෂ්ටයන් කවර දාත් ගමන් කළ ඒ පැරණි මාවතෙහි ඇවිදින්නට ඔබත් තීරණය කරගත්තෙහි ද?
16ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත.
ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත.
17එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව.
සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.
18ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.
19දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති;
නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති:
20‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ.
ඔවුන්ගේ ඉතිරි වස්තුව ගින්නෙන් දැවී ගියේ ය.’
21ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න.
එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත.
22එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.
23ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,
24ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,
25සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.
26එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත.
27ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක.
ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.
28ඔබ ගන්න තීරණය සඵල වනු ඇත.
ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත.
29එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළ‍න සේක.
යටහත් සිත් ඇති අය රැකගන්න සේක.
30ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.”

Currently Selected:

ජෝබ් 22: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in