YouVersion Logo
Search Icon

ජෝබ් 20

20
ශෝපර්ගේ දෙ වන කතාව
1ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:
2“ඇවිස්සුණු මාගේ චිත්තය ඔබට පිළිතුරු දීමට නොඉවසිල්ලෙන් බලා සිටියි.
3ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි.
එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.
4කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්,
5දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
6ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,
7කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි.
ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.
8ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි;
රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.
9ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති.
ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ.
10ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය.
ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත.
11යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.
12දුෂ්ටකම ඔහුගේ කටට මිහිරි ව දැනෙතත්, ඔහු එය සිය දිව යට සඟවාගනියි.
13ඉවතට යන්න නොදී හෙමිහිට එය රස බැලුවත්, උඩුතල්ලේ තබා ගනිතත්,
14පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි.
15තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය;
දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.
16ඔහු සපුන්ගේ විස උරා බොන්නේ ය;
පොළඟාගේ දළයෙන් ඔහු මැරුම් කන්නේ ය.
17ඔහු, ගිතෙල් ගලන ඔයවල් ද කිරි පැණි ගලා යන ගංගා ද නොදකින්නේ ය.
18ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය.
ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්‍රතිඵලවල රස නොවිඳින්නේ ය.
19මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය;
අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.
20ඔහුගේ මසුරුකමට සීමාවක් නැති බැවින්, සිය වස්තුවෙන් සෙතක් ඔහු ලබා නොගනියි.
21ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද?
ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.
22විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත;
දුඃඛිතයන්ට පැමිණෙන හැම දුක ම ඔහු කරාත් පැමිණෙන්නේ ය.
23ඔහු බඩ පුරා කෑම කෑවත්, දෙවිඳාණෝ බලවත් උදහසින් හා සිය කෝපයෙන් ඔහුට දඬුවම් දෙන සේක.
24ඔහු යකඩ අවියෙන් පහර ලැබ, ගැළවෙන්නට වෑයම් කරන විට ලෝකඩ දුන්නෙන් බිම හෙළ‍නු ලබන්නේ ය.
25ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය.
භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.
26ඔහු රැස් කර තිබූ සම්පත් සියල්ල නාස්ති වී යයි.
මිනිසා නොදැල්වූ ගින්නක් ඔහු ද ඔහුගේ නිවෙසෙහි වසන අනික් අය ද දවාදමයි.
27අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි;
මිහි තලය ඔහු වරදට පත් කරයි.
28ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි;
දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.
29දුදනා හට දෙවිඳුන්ගේ නියමය එය වේ.
එතුමාණන්ගෙන් ඔහුට නියමිත ප්‍රතිවිපාකය එය වේ.”

Currently Selected:

ජෝබ් 20: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in