ජෝබ් 14
14
1“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.
2ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය.
නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය.
3එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද?
උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද?
4අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද?
කිසිවෙකුට බැරි ය!
5මිනිසාගේ ආයු මිම්මක් ඇත.
ඔහුගේ අවුරුදු ඔබ අතේ ය.
ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත.
6පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.
7ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත.
8ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්,
9වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.
10එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි.
ඔහු මියගිය විට යන්නේ කොතැනට ද?
11වැවේ වතුර සිඳී යන්නේ ය;
ගඟ හිඳී වියළී යන්නේ ය;
12එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි;
ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි.
සිය නින්දෙන් නැඟිට නොඑයි.
13අනේ!
ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය දී, මට කාලාන්තරයක් නියම කොට මා සිහි කරන සේක් නම්, මම කැමැත්තෙමි.
14මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද?
මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.
15ඔබ හඬගසන සේක:
මම උත්තර දෙන්නෙමි;
ඔබ මැවූ මැවිල්ල ගැන ඔබ සතුටු වන සේක.
16එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක;
මාගේ පව් ගණන් කර බලන සේක.
17ඔබ මාගේ පව් මල්ලක දමා මුද්‍රා තබා ඇත.
මාගේ අපරාධ වසා සඟවා ඇත.
18“කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්,
19වතුරෙන් ගල් ගෙවී යන්නාක් මෙන්, ජලප්‍රවාහයෙන් පොළොව සේදී යන්නාක් මෙන් ඔබ මිනිසාගේ පැතුම් සුන් කරන සේක.
20ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක.
ඔහු අතුරුදහන් වී යයි;
ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක.
21ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන විට, එපවත් ඔහු නොදනියි.
ඔවුන් අවමානයට පැමිණෙන විට ද ඔහුට දැනුමක් නැත.
22එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි.
ඔහු වැලපෙන්නේ තමා ගැන පමණකි.”
Currently Selected:
ජෝබ් 14: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in