ජාකොබ් 1:21-27
ජාකොබ් 1:21-27 SNRV
එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න. එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න. මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය. ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය. යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.











