උත්පත්ති 45:4-18
උත්පත්ති 45:4-18 SNRV
නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය, ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක. මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත. මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක. එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක. “ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට, ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි: ‘දෙවියන් වහන්සේ මුළු මිසරයේ අධිපති වශයෙන් මා පත් කළ සේක. පමා නොවී මා වෙත පැමිණෙන්න. ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය. තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය. තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත. ඇරත්, මිසරයේ මාගේ ශ්‍රේෂ්ඨතම පදවියත්, ඔබ දුටු සියල්ලත් පියාට දන්වා, හනික ගොස් මාගේ පියා මෙහි කැඳවා ගෙන එන්නැ”යි කීවේ ය. ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය. තවද, ඔහු තම සහෝදරයන් සියල්ලන් ම සිඹ වැළඳගෙන හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළහ. තවද, ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව් දිනි. මෙය පාරාවෝට ද ඔහුගේ නිලධාරීන්ට ද ප්‍රීතිදායක විය. එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්, ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න.





