උත්පත්ති 1:1-12
උත්පත්ති 1:1-12 SNRV
ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. ආලෝකය යහපත් බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය යහපත් බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටු සේක.






