YouVersion Logo
Search Icon

ගලාති 6:7-18

ගලාති 6:7-18 SNRV

මුළා නොවෙන්න, කිසිවෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැකි ය. මන්ද, මිනිසෙක් තමා වපුරන දෙය ම කපාගන්නේ ය. කෙලෙස් මල නමැති කෙතෙහි වපුරන්නා, කෙලෙස් මලින් ජරාවට පත් වන මරණය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. ආත්මයාණන් නමැති කෙතෙහි වපුරන්නා ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු. එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු. කොපමණ ලොකු අකුරුවලින් මාගේ ම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න. මාංසික ලකුණක් අනුව තම උතුම්කම පෙන්වීමට කැමැති අය චර්මඡේදනය ලබන්න ඔබට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය නිසා ඇති වන පීඩාවලින් වළකින පිණිස පමණක් ය. චර්මඡේදනය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපිළිපදිති. එහෙත් ඔබ චර්මඡේදනය කරවීමට ඔවුන් අදහස් කරන්නේ, ඒ ගැන ඔවුන් පාරට්ටු කර ගන්නා පිණිස ය. එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය. චර්මඡේදනය වත් අචර්මඡේදනය වත් වැදගත් නැත; වැදගත් දෙය නම්, අලුත් මැවිල්ලක් වීම ය. යම් පමණ දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෝ ද ඒ හැමට සාමදානයත්, දයාවත් වේ වා! දෙවියන් වහන්සේගේ මුළු සෙනඟටත් එසේ ම වේ වා! මින් මතු කිසිවෙක් මට කරදර නොකෙරේ වා. මන්ද, මම මාගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ නිවරණ දරමි. සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා! ආමෙන්.

Free Reading Plans and Devotionals related to ගලාති 6:7-18