YouVersion Logo
Search Icon

එස්තර් (ග්‍රීක් පිටපත) 5

5
එස්තර් රාජ මාලිගාවෙහි පෙනී සිටීම
1යාච්ඤා කිරීම අවසාන කළ විට ඈ තුන් වන දින තම යාචක ඇඳුම් ඉවත ලා අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණා ය. මෙසේ ශෝභාවෙන් කාන්තිමත් වූ ඈ සියල්ලන් රැකබලාගෙන ඔවුන් ගළවන දෙවියන් වහන්සේගේ පිහිට ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියා ය. ඉන්පසු ඈ තමා සමඟ මෙහෙකාරියන් දෙදෙනෙකු කැඳවාගත්තා ය. ඈ ඔවුන්ගෙන් එක් තැනැත්තියකට සෞම්‍ය ලෙස හේත්තු වී ගියා ය. අනෙක් තැනැත්තිය ඇගේ එල්ලෙන ඇඳුම් අල්ලාගෙන ගියා ය. ඈ පළමු වන මෙහෙකාරියට මලානික ලෙස මෙන් හේත්තු වී ගිය නමුත්, ඇත්තෙන් ම ඈ එසේ කෙළේ ශරීරයේ දුර්වලකම නිසා කෙළින් සිටීම ඇයට දුෂ්කර වූ හෙයිනි. අනෙක් මෙහෙකාරිය ඇඳුමේ බිම ඇද්දෙන කොටස ඔසවාගෙන ඇයට පිටුපසින් ගියා ය. අගතැන්පත් ඇගේ ශෝභාව නිසා ඈ රතු පැහැති වූවා ය. ඇගේ ප්‍රීතිමත් මුහුණ ප්‍රේමයෙන් හා ප්‍රීතියෙන් කාන්තිමත් විය. එහෙත් ඇගේ හෘදය බියෙන් කම්පා විය.
සියලු දොරටු පසු කර ගිය ඇය දැන් රජු ඉදිරියෙහි සිටියා ය. ඔහු සියලු රාජකීය නිල වස්ත්‍රාභරණවලින් සැරසී රනින් හා මැණික් ගල්වලින් දිළිසෙමින් ඔහුගේ සිංහාසනයෙහි වාඩි වී හුන්නේ ය. එය බියජනක දර්ශනයකි. ඔහු තේජසින් රතු පැහැති තම මුහුණ ඔසවා කෝපයෙන් ඇවිලෙමින් ඇය දෙස බැලුවා ය. බිසව ක්ලාන්ත වූවා ය. ක්ලාන්ත වී සිටිය දී ඇය සුදුමැලි වී තම හිස තමා සමඟ සිටි මෙහෙකාරිය පිට හේත්තු කළා ය. දෙවියන් වහන්සේ රජුගේ සිත වෙනස් කර, ඔහු තුළ කරුණා ගුණයක් ඇති කළ සේක. එවිට රජ හනික තම සිංහාසනයෙන් බැස, ඇය නැවත සිහියට එන තෙක් ම තම අත්වලින් ගෙන සනසන වචනවලින් ඇය අස්වසාලූයේ ය. “එස්තර්, ඔබට කුමක් වූයේ ද? මම ඔබේ සහෝදරයා වෙමි. ධෛර්යවත් වන්න. ඔබ නොමැරෙන්නෙහි ය. අපේ නියෝගය සාමාන්‍ය ජනයා සම්බන්ධයෙන් පමණකි. මා ළඟට එන්නැ”යි රජ කීයේ ය.
2ඔහු තම රන්මුවා රාජ යෂ්ටිය ඔසවා, එය ඇගේ ගෙල මත තබා ඇය වැළඳ ගෙන, “මට කතා කරන්නැ”යි කීවේ ය. ඈ ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමානව සිටිනු මම දිටිමි. එවිට මාගේ හෘදය කැළඹුණේ ය. මම ඔබේ තේජස දැක බිය වීමි. මන්ද, ස්වාමීනි, ඔබ විස්මයජනක වන හෙයිනි. ඔබේ මුහුණ ප්‍රසාදජනක වන හෙයිනි”යි කීවා ය. ඈ මෙසේ කතා කරමින් සිටිය දී මූර්ඡා වූවා ය. රජ කලබල විය. අවට සිටි පිරිවර ඇය ප්‍රාණවත් කිරීමට උත්සාහ කළෝ ය. 3“එස්තර් බිසව, ඔබේ කාරිය කිම, ඔබ ඉල්ලන දේ මට කියන්න; රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත් ඔබ ඉල්ලූ පමණින් ම ඔබට දෙනු ලැබේ”යි රජ කීවේ ය. 4එස්තර් උත්තර දෙමින් “රජතුමාට යෝග්‍යය යි සිතන්නේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන භෝජන සංග්‍රහයට හාමාන් සමඟ අද එනු මැනවැ”යි කීවා ය. 5එවිට රජ කතා කොට, “එස්තර්ගේ ආශාව ඉටු කරනු පිණිස හාමාන්ට වහා එන්නට කියන්නැ”යි දන්වා යැවී ය.
6මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ භෝජන සංග්‍රහයට ආවෝ ය. භෝජන අනුභව කරන අතර රජ එස්තර්ට නැවත කතා කොට, “ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් ම එය ඔබට දෙනු ලැබේ. රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඒ ඉල්ලීම ඉටු කරනු ලැබේ ය”යි කීයේ ය. 7එවිට එස්තර් කතා කොට, “මා ආශා කරන්නේ කුමක් ද? 8මා ඉල්ලන්නේ කුමක් ද? රජතුමාගෙන් මට කරුණාව ලැබී තිබේ නම් එසේ ම මා ඉල්ලන දේ දෙන්නටත්, මාගේ ආශාව ඉටු කරන්නටත්, රජතුමා ප්‍රසන්න වන්නේ නම් මාගේ ඉල්ලීම වනුයේ මා විසින් පිළියෙළ කරන ලද මංගල භෝජනයට හෙට දින දී ඔබ හාමාන් සමඟ පැමිණීම යි. එවිට රජතුමාගේ කීම ලෙස හෙට කරන්නෙමි”යි කීවා ය.
9හාමාන් ඒ දවසේ දී සන්තෝෂ වී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේ ය. එහෙත් රජ වාසල ළඟ උන් මොර්දෙකායි තමා ඉදිරියෙහි නැඟිට්ටේ වත්, තමා හුන් තැනින් මඳක් ඉවත් වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් ඇවිළුණේ ය. 10එහෙත්, ඔහු කිසි දෙයක් කෙළේ නැත. ඔහු ගෙදර ආ පසු තම මිතුරන් ද, තම භාර්යාව වූ ශෙරෙෂ් ද ඔවුන් ඉදිරියෙහි තමාගේ වස්තු සම්භාරය ගැන ද, 11තමාගේ දරුවන් රාශිය ගැන ද, තමා අන් සියලු මහා අධිපතීන්ටත්, සේවකයන්ටත් වඩා උසස් කිරීමට රජු කළ සියලු දේ ගැන ද බොහෝ වේලාවක් කතා කෙළේ ය. 12තවදුරටත් කතා කරමින්, “එස්තර් බිසොව පිළියෙළ කළ මංගල භෝජනයට මා මිස රජු සමඟ වෙන කිසිවෙකු කැඳවනු ලැබුයේ නැත. හෙටත් රජු සමඟ එන්නට ඈ විසින් ආරාධනා කරනු ලැබීමි. 13එහෙත්, මොර්දෙකායි නම් ජුදෙව්වා රජ වාසල ළඟ හිඳිනු මට පෙනෙන කල මේ සියල්ලෙන් ඇති පල කිම් දැ”යි කීයේ ය. 14එවිට ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “පනස් රියනක් උස ඇති පෝරකයක් සාදවා මොර්දෙකායි එහි එල්ලා දමන ලෙස හෙට උදේ රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් සහභාගි වන්නට ඔබට හැකි වන්නේ ය”යි කීවෝ ය. මේ උපදේශයෙන් සතුටට පත් වූ හාමාන් පෝරකය සූදානම් කිරීමට සැලැසුවේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in