2 රාජාවලිය 18
18
හෙසකියාගේ රාජ්‍ය පාලනයේ පටන්ගැන්ම
(2 වංශා 29:1-2; 31:1)
1ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය. 2විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබි ය. ඈ සෙකරියාගේ දුවකි.
3ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. 4#ගණන් 21:9 ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය. 5ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය. 6ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය. 7සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය. 8ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.
සමාරියේ වැටීම සිහි කිරීමක්
9ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන, 10තුන් අවුරුද්දකට පසු එය අල්ලාගත්තේ ය. ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ නව වන අවුරුද්ද වන හෙසකියාගේ හය වන අවුරුද්දේ දී සමාරිය අල්ලාගන්න ලද්දේ ය. 11අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය.
12මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.
සෙනකෙරිබ් රජුගේ ආක්‍රමණය
(2 වංශා 32:1-19; යෙසා 36:1-22)
13හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය. 14එවිට ජුදාහි රජු වන හෙසකියා, “මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය. 15හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය. 16ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුලුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය.
තානාපති සේවයක්
17එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ. 18එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය. 19එවිට රබ්-ෂාකේ ඔවුන්ට කතා කොට, “අසිරියාවේ රජු වන මහා රජතුමාණෝ මෙසේ කියන්නාහ: ‘ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තබන්නහු ද? 20යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද? 21මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය.
22‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද? 23ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. 24එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද? 25මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.
26එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.
27එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය.
28එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න. 29ඔබ රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. මාගේ අතින් ඔබ ගළවන්නට ඔහුට බැරි ය. 30සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න. 31හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු, 32ඔබ එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නටත්, තම තමාගේ ළිඳේ වතුර බොන්නටත් පුළුවන. මෙසේ ඔබ නොනැසී ජීවත් වන්නහු ය. සමිඳාණන් වහන්සේ අප ගළවාගන්න සේක කියා හෙසකියා ඔබ පොළඹවන කල ඔහුට සවන් නොදෙන්න. 33විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද? 34හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද? 35සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.”
36එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි. 37එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.
Currently Selected:
2 රාජාවලිය 18: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in