YouVersion Logo
Search Icon

2 කොරින්ති 11

11
පාවුලු තුමා සහ ව්‍යාජ අපෝස්තුළුවරු
1මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත. 2නිර්මල කන්‍යාවක වැනි ඔබ, ක්‍රිස්තුන් වහන්සේ වන එක ම ස්වාමියා හට සරණ පාවා දීම පිණිස මා ගිවිසුම් දුන් බැවින්, මම දිව්‍යමය හිතවත්කමකින් ඔබ ගැන හිතවත් වෙමි. 3#උත් 3:1-5,13 එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත. 4යමෙක් ඔබ වෙත පැමිණ අප ප්‍රකාශ නොකළ වෙන ජේසුස් කෙනෙකුන් ප්‍රකාශ කරයි නම්, ඔබ කලින් නොලැබූ වෙනත් ආත්මයක් හා ඔබ නොපිළිගත් වෙන සුබ අස්නක් ඉදිරිපත් කරයි නම්, එවැන්නෙකු පිළිගැනීමට ඔබ සූදානම් ය. එය හරි කදිම යි! 5එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය අපෝස්තුළුවරුන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි. 6මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි.
7ඔබ උසස් කරනු පිණිස මා පහත් වීමෙන් ද දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට නොමිලයේ දේශනා කිරීමෙන් ද මා කළේ වරදක් ද? 8ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි. 9#පිලිප් 4:15-18 තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි. 10ග්‍රීසියේ පෙදෙස්වල මා මේ කරන පාරට්ටුව නිහඬ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබමි යි ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යය මා තුළ ඇති සේ ම දිවුරා කියමි. 11මෙසේ කියන්නේ මා ඔබට ප්‍රේම නොකරන නිසා ද? නැත. මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
12අප හා සම තත්ත්වයක් ඇතැ යි පාරට්ටු කරගැනීමට අවස්ථා සොයන අයට කිසි අවස්ථාවක් නොදීම පිණිස මා දැන් කරන දේ මතු ද කරගෙන යමි. 13එබඳු අය ව්‍යාජ අපෝස්තුළුවරු ය, ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරු මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය. 14එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි. 15ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.
අපෝස්තුළුවරයාට පැමිණි උවදුරු
16මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න. 17සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි. 18බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි. 19ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය. 20යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය. 21මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.
22ඔව්හු හෙබ්‍රෙව්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ඉශ්රායෙල්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ආබ්‍රහම්ගේ පෙළපතින් පැවත එන්නෝ ද? මමත් එසේ ම ය. 23#ක්‍රියා 16:23 ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි. 24#ද්වි.නී. 25:3 ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි. 25#ක්‍රියා 16:22; 14:19 තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි. 26#ක්‍රියා 9:23; 14:15 මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි. 27මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි. 28මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත. 29යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද?
30පාරට්ටු කරගැනීම අවශ්‍ය ම නම්, මම මාගේ දුර්වලකම සම්බන්ධ කාරණ ගැන පාරට්ටු කරගන්නෙමි. 31මා බොරු නොකියන බව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ සදහට ම පැසසුම් ලබන දෙවියන් වහන්සේ දන්නා සේක. 32#ක්‍රියා 9:23-25 මා දමස්කයේ සිටිය දී අරෙතස් රජු යටතේ සිටි ආණ්ඩුකාරයා මා අල්ලාගන්නා පිණිස දමස්කස් නගරය මුර කළ නමුත්, 33මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in