ගීතාවලිය 116:1-10
ගීතාවලිය 116:1-10 NRSV
සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි. මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි. “මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.









