හිතෝපදේශ 4:18-27
හිතෝපදේශ 4:18-27 NRSV
එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි. දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත; තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති. මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න. ඒවා ඔබේ සිතින් පහ නොවේ වා; ඒවා ඔබේ හදවතෙහි නිදන් කර තබන්න. ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ. අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි. රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න. දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න. ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත. හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.





