YouVersion Logo
Search Icon

පිලිප්පි 1

1
ආචාරය
1 # ක්‍රියා 16:12 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු. 2අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
පාවුලු තුමාගේ යාච්ඤාව
3මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි; 4මා යාච්ඤා කරන සෑම විට ම, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි. 5මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය. 6ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි. 7ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය. 8ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක. 9ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා. 10ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා. 11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.
ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම
12සහෝදරවරුනි, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි. 13#ක්‍රියා 28:30 මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. 14මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
15සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති. 16පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද 17මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.
18කෙසේ වූවත් කමක් නැත. වංක ලෙස වේ වා, අවංක ලෙස වේ වා, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි. මතු ද ප්‍රීති වන්නෙමි. 19ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. 20මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය. 21මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි. 22එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම්, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි. 23මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය. 24එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ. 25මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි. 26මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.
27කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද, 28ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද, ඇසීමට මට හැකි වනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය. 29මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය. 30#ක්‍රියා 16:19-40 වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy