YouVersion Logo
Search Icon

පිලෙමොන් 1

1
ආචාරය
1ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන පිලෙමොන් වෙතට ද ඔබේ ගෙදර රැස් වන සභාවට ද 2#කොලො 4:17 අපගේ සහෝදරී වූ අපියාට ද අපගේ සහකාර හේවායෙකු වන අර්කිපස්ට ද මෙය ලියා එවමු. 3අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
පිලෙමොන්ගේ ප්‍රේමය හා ඇදහිල්ල
4මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. 5එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහි ද, සියලු සැදැහැවතුන් කෙරෙහි ද ඇති ඔබේ ප්‍රේමයත්, ඇදහිල්ලත් ගැන මා අසා තිබෙන බැවිනි. 6මාගේ යාච්ඤාව නම්, නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැන ගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ සහභාගිකම ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පලදායී වීමයි. 7සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.
ඔනේසිමස් උදෙසා ඉල්ලීමක්
8මේ නිසා, කළ යුතු දේ පිළිබඳ ව ඔබට අණ කරන්නට ක්‍රිස්තුන් වහන්සේ තුළ මට නිදහස ඇති නමුත්, 9එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි. 10#කොලො 4:9 ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය. 11වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.
12මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි. 13සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතාගැනීමට මම කැමැත්තෙමි. 14එහෙත් ඔබේ අනුමැතිය නැති ව කිසිත් කරන්නට මම කැමැති නොවෙමි. මන්ද, ඔබේ උපකාරය බල කිරීමෙන් නොව, සිය කැමැත්තෙන් ම දෙන දෙයක් විය යුතු යි.
15සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කලකට වෙන් වූයේ, නැවත ඔහු ඔබට නිත්‍ය ලෙස අයිති වන පිණිස විය හැකි ය. 16එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳාණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය.
17ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න. 18ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි. 19පාවුලු නම් මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේ ලියන අතර, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත. 20මාගේ සහෝදරය, සමිඳාණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න.
21මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය. 22ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.
ආචාර හා සුබ පැතුම්
23 # කොලො 1:7; 4:12 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා මා සමඟ හිරකාරයෙකු වන එපප්‍රස් ද 24#ක්‍රියා 12:12,25; 13:13; 15:37-39; 19:29; 27:2; කොලො 4:10,14; 2 තිමෝ 4:10,11 මාගේ හවුල් සේවකයන් වන මාක් ද අරිස්තර්කස් ද දේමස් ද ලූක් ද ඔබට ආචාර කරති.
25අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ හැම සමඟ පවතී වා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy