YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 4

4
ජේසුස් වහන්සේ පරීක්ෂා කරනු ලැබීම
(මාක් 1:12-13; ලූක් 4:1-13)
1 # හෙබ්‍රෙ 2:18; 4:15 එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. 2දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. 3එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය. 4#ද්වි.නී. 8:3උන් වහන්සේ උත්තර දෙමින්,
“ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව;
දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’
කියා ලියා ඇතැ”යි වදාළ සේක.
5එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, 6#ගීතා 91:11-12“ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න;
‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත.
ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි
ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය. 7#ද්වි.නී. 6:16ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක.
8යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා, 9“ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය. 10#ද්වි.නී. 6:13එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව!
‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න;
උන් වහන්සේට පමණක් සේවය කරන්න’
කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.
11එකල යක්ෂයා උන් වහන්සේ අත්හැර ගියේ ය. දේව දූතයෝ අවුත් උන් වහන්සේට උපස්ථාන කළහ.
ගලීලයේ සේවය ඇරඹීම
(මාක් 1:14-15; ලූක් 4:14-15)
12 # මතෙ 14:3; මාක් 6:17; ලූක් 3:19-20 ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක. 13#ජොහ 2:12උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. 14මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්:
15 # යෙසා 9:1-2 “ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා!
සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය!
16ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ.
මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය”
යනු යි. 17#මතෙ 3:2එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.
ධීවරයන් සතර දෙනා කැඳවීම
(මාක් 1:16-20; ලූක් 5:1-11)
18උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක, 19“මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. 20එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
21උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. 22එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ.
මහා ජනකායකට සුව සෙත
(ලූක් 6:17-19)
23 # මතෙ 9:35; මාක් 1:39 තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක. 24උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. 25ගලීලයෙන් ද දෙකපොලිසයෙන් ද ජෙරුසලමෙන් ද ජුදයෙන් ද ජොර්දාන් ගඟ එගොඩින් ද මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy