ශුද්ධවර මතෙව් 23:27-39
ශුද්ධවර මතෙව් 23:27-39 NRSV
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ. එලෙස ම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත් ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ‘ඔබ දිවැසිවරයන්ට සොහොන් ඉදි කොට, සිල්වතුන්ගේ සොහොන් කොත් අලංකාර කරමින්, අපේ මුතුන්මිත්තන් ජීවත් ව සිටි කාලයේ දී අපිත් සිටියෙමු නම්, දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමු’යි කියන්නහු ය. මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය. එබැවින් ඔබගේ මුතුන්මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න. “සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ නිරයේ දඬුවමින් ගැළවෙන්නේ කෙසේ ද? එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය. මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය. සැබැවින් ම මම ඔබට කියමි, ඒ මුළු දඬුවම මේ පරම්පරාවේ අය පිට පැමිණෙනු ඇත.” “අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය. බලන්න, නුඹේ දේව මාලිගාව පාළු කරදමනු ලැබේ. මම නුඹට කියමි, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් වඩින තැනැත්තා හට ආසිරි වේ වා’යි නුඹ පවසන කාලය එන තුරු මෙතැන් සිට නුඹ මා තවත් නොදකින්නී ය.”





