YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 16

16
වංචනික ගබඩාකාරයා පිළිබඳ උපමාව
1ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ. 2එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය. 3ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. 4ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය. 5මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. 6‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 7තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 8ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.
9“එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. 10අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. 11එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? 12අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? 13#මතෙ 6:24 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”
ව්‍යවස්ථාවලිය හා ස්වර්ග රාජ්‍යය
(මතෙ 11:12-13; 5:31-32; මාක් 10:11-12)
14පරිසිවරු ධනලෝභී අය වූ හෙයින් මෙ‍වදන් අසා උන් වහන්සේට සරදම් කළහ. 15එවිට උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක. “ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. 16#මතෙ 11:12-13 ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය ජොහන්ගේ කාලය දක්වා විය. එතැන් සිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුබ අස්න දේශනා කරනු ලැබේ. සියල්ලෝ ම බලවත් ඕනෑකමින් ඊට ඇතුළු වෙති.
17 # මතෙ 5:18 එහෙත්, ව්‍යවස්ථාවලියෙන් බින්දු මාත්‍රයක් වත් අහෝසි වී යාමට වඩා අහස හා පොළොව පහවී යාම පහසු ය.
18 # මතෙ 5:32; 1 කොරි 7:10-11 “සිය බිරිඳ දික්කසාද කොට, අන් ස්ත්‍රියක පාවාගන්නා කවරෙක් වුව ද කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයකු විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක පාවාගන්න තැනැත්තේ ද කාමමිථ්‍යාචාරය කරයි.”
ධනපතියා සහ ලාසරස්
19“අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය. 20ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. 21ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය. 22ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය. 23ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක, 24මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය. 25එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙ‍හි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. 26එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය. 27එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙ‍නි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති; 28ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය. 29එහෙත්, ආබ්‍රහම් කතා කොට: ‘මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා’යි කී ය. 30ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙ‍නි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය. 31ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy