YouVersion Logo
Search Icon

ජෝබ් 24

24
1“සව් බලැති දෙවිඳාණන්ගේ විනිශ්චය දවස නියම නොකරන්නේ මන් ද?
එතුමන් නමදින දනන් ඒ දිනය නොදන්නේ මන් ද?
2දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති;
ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.
3සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති;
වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.
4දිළිඳුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම ඔව්හු වළක්වති.
දුව ගොස් සැඟවෙන ලෙස දිළිඳුන් හට ඔව්හු බල කරති.
5දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති.
අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.
6ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති;
දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති.
7රාත්‍රියේ දී පොරවාගන්නට වස්ත්‍ර නැති ව, ශීතලයට වැස්ම නැති ව ඔව්හු නින්දට යති.
8කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.
9දුදනෝ මවු ළයෙන් අනාථ දරුවන් උදුරාගනිති.
දිළිඳුන්ගේ දූ දරුවන් ඇප වෙනුවට තබාගනිති.
10කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති.
ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති.
11දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති.
12නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.
13ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත.
ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත.
ඒ මාවතෙහි ගමනක් නැත.
14මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි;
රාත්‍රියේ දී සොරකමට යයි.
15පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට, කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි.
16සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති;
දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.
17ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය;
රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.”
ශෝපර්ගේ කතාව
ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:
18“දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න;
ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත.
ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.
19නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය;
පාපිෂ්ඨයා එලෙස ම ජීවතුන් අතරෙන් පහ ව යයි.
20වැදූ මව පවා ඔහු සිහි නොකරයි;
පණුවෝ ඔහු කා දමති;
බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි.
21මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි.
22දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත;
ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත.
23දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක;
හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.
24මොහොතකට ඔව්හු උසස් වෙති;
එහෙත්, වල් පැළෑටි මෙන් ඔව්හු වහා මැලවී යති.
කපා දැමූ ගොයම් මෙන් ඔව්හු තුරන් ව යති.
25මේ මාගේ කියමන් බොරු නම්, මාගේ ඒ තර්කය බිඳලිය හැකි යම්කිසි සමතෙක් මෙලොව ඇද් ද?”

Currently Selected:

ජෝබ් 24: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in