ශුද්ධවර ජොහන් 21:15-24
ශුද්ධවර ජොහන් 21:15-24 NRSV
මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, “එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, “මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක. නැවත දෙ වන වරටත්, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, “එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, “මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක. ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති “මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක. පේදුරු හැරී, ජේසුස් වහන්සේ ප්‍රේම කළාවූ ද රාත්‍රි භෝජනයෙහි දී උන් වහන්සේගේ ළයෙහි හාන්සි වී සිට, ‘ඔබ පාවා දෙන්නේ කවරෙක් දැ’යි ඇසුවාවූ ද ශ්‍රාවකයා තමන් පසුපස්සේ එනු දිටී ය. පේදුරු ඔහු දැක, “ස්වාමීනි, මොහුට කුමක් වේ දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ද, “මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද? ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක. මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්‍රාවකයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු.



![[Unboxing Psalm 23: Treasures for Every Believer] Paths of Righteousness ශුද්ධවර ජොහන් 21:15-24 Sinhala New Revised Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F35790%2F1440x810.jpg&w=3840&q=75)

