වීරාවලිය 6:11-23
වීරාවලිය 6:11-23 NRSV
සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය. සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, “ධෛර්යවත්, බලවත් මනුෂ්‍යය, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේකැ”යි කී ය. ගිඩියොන් ඔහුට කතා කරමින්, “අහෝ මාගේ ස්වාමීනි, සමිඳාණන් වහන්සේ අප සමඟ සිටින සේක් නම්, මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක්නිසා ද? ‘සමිඳාණන් වහන්සේ අප මිසරයෙන් ගෙනා සේකැ’යි කියමින් අපේ පියවරුන් අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහේ ද? දැන් නම්, සමිඳාණන් වහන්සේ අප අත්හැරදමා, මිදියන්වරුන් අතට අප පාවා දී ඇතැ”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක. ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්‍රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක. ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්‍රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව. ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක. ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ රොටි ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය. දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ රොටි ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය. ගිඩියොන් දුටුවේ, සමිඳාණන් වහන්සේගේ දූතයා බව ඔහුට පෙනී ගිය විට, “මහෝත්තම දෙවි සමිඳාණන් වහන්ස, මම සමිඳාණන් වහන්සේගේ දූතයා මුහුණට මුහුණ ලා දිටිමි”යි කී ය. සමිඳාණන් වහන්සේ, “නුඹට සාමදානය වේ වා! බිය නොවන්න; නුඹ නසින්නේ නැතැ”යි ඔහුට වදාළ සේක.






