YouVersion Logo
Search Icon

යෙසායා හැඳින්වීම

හැඳින්වීම
ක්‍රි.පූ. අට වන ශතවර්ෂයේ විසූ ශ්‍රේෂ්ඨ දිවැසිවරුන් (ප්‍රවාචකවරුන්) අතරින් වැදගත් තැනක් ගත් යෙසායා දිවැසිවරයාට සාම්ප්‍රදායික ව මෙහි කර්තෘත්වය පවරා ඇත. බොහෝ විශාරදයින්ගේ මතය අනුව මෙය, කතුවරුන් තිදෙනෙකු විසින් සම්පාදිත, කාල පරිච්ඡේද තුනකට අයත්, කොටස් තුනකින් යුත් ග්‍රන්ථයකි. තවත් විශාරදයින්ගේ මතය අනුව, ‘යෙසායා’ නම් වූ මෙම ග්‍රන්ථය එකම කතුවරයෙකුගේ කෘතියක් ලෙස පිළිගැනේ. මෙම කොටස් තුන ම ක්‍රි.පූ. 742 ත් 687 ත් අතර කාලයක ජෙරුසලමේ ජීවත් වූ ‘යෙසායා’ නම් ශ්‍රේෂ්ඨ දිවැසිවරයාගේ දිවැසිවර සම්ප්‍රදාය මත පදනම් වී ඇත.
පොතේ කොටස් තුන මෙසේ ය:
1. පරිච්ඡේද 1-39 දක්වා-මේ කොටස අයිති වන්නේ, දකුණු රාජ්‍යය වූ ජුදාව, බලවත් ජාතියක් වූ අසිරියාවෙන් ඇති වූ තර්ජනයකට මූණ පා සිටි කාලයට යි. මේ දේශපාලනමය තර්ජනයට වඩා බලවත් ආධ්‍යාත්මික තර්ජනයක් ඇති බව යෙසායාතුමා පෙන්වා දුන්නේ ය. එනම්, සෙනඟ දෙවියන් වහන්සේට අකීකරු වී උන් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතැබීමේ හේතුවෙන් පාපයට වැටී සිටීම යි. මේ නිසා ජාතියේ පරිහානියත් විනාශයත් ඇති වන බවට අනතුරු අඟවා, පවින් තොර, යුක්ති ගරුක, ධර්මිෂ්ඨ ජීවිත ගත කරන මෙන් යෙසායාතුමා අවවාද කෙළේ ය. අනාගතයේ දී ඇතිවන්නට යන මුළු ලෝකයේ සාමයත්, දාවිත් රජුගේ වංශයෙන් පහළ වන ආදර්ශවත් රජ කෙනෙකු ගැනත් ඔහු අනාවැකි ප්‍රකාශ කෙළේ ය.
2. පරිච්ඡේද 40-55 දක්වා-මේ කොටස අයිති වන්නේ ජුදා දේශයේ සෙනඟ බොහෝ දෙනෙකුන්, බලාපොරොත්තු ශුන්‍ය කාලකණ්ණි තත්ත්වයක බබිලෝනියේ විප්‍රවාසගත ව සිටි කාලයට යි. සෙනඟට නිදහස අත්පත් කර දී ජෙරුසලමට ආපසු ගෙන ගොස් නව ජීවනයක් ඔවුන්ට දෙන්න දෙවියන් වහන්සේ සූදානම් ව සිටින බව ප්‍රකාශ කර මේ දිවැසිවරයා සෙනඟ දිරි ගැන්වී ය. දෙවියන් වහන්සේ ඉතිහාසය පාලනය කරන සමිඳාණන් වහන්සේ බවත්, සියලු ජාතීන්ට ආලෝකයක් හා ආශීර්වාදයක් වීම ඉශ්රායෙල් ජාතියේ පරමාර්ථය බවත්, පෙන්වා දීම මේ කොටසේ මූලික අදහස ය. මේ කොටසට ඇතුළත් වී තිබෙන ‘සමිඳාණන් වහන්සේගේ සේවකයා’ පිළිබඳ පාඨ පැරණි ගිවිසුමේ ඉතා උසස් ගණයට අයත් කෘති ය.
3. පරිච්ඡේද 56-66 දක්වා-මේ කොටසේ වැඩි හරියක් අයිති වන්නේ සෙනඟ බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණ සිටි කාලයකට යි. දෙවියන් වහන්සේ සිය දේශයට දුන් පොරොන්දු ඉෂ්ට කරන බව නිසැක යයි මේ දිවැසිවරයා පෙන්වා දෙයි. ධර්මිෂ්ඨකම, යුක්තිය, සබත් දින පැවැත්වීම, පුද පූජා හා යාච්ඤාව ගැන විශේෂ සැලකිල්ලක් මෙහි දක්වා ඇත. විශේෂයෙන් සැලකිය යුතු පාඨයක් වන 61:1-2, ජේසුස් වහන්සේ ස්වකීය විමුක්තිදායක ප්‍රසිද්ධ සේවය පිළිබඳ ප්‍රකාශනය වශයෙන් කියෙවූ සේක (ලූක් 4:18,19).
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-12 අනතුරු ඇඟවීම් හා පොරොන්දු.
පරිච්ඡේද 13-23 ජාතීන්ට දඬුවම්.
පරිච්ඡේද 24-27 ලෝකය කෙරෙහි දේව විනිශ්චය.
පරිච්ඡේද 28-35 තවත් අනතුරු ඇඟවීම් හා පොරොන්දු.
පරිච්ඡේද 36-39 හෙසකියා රජු හා අසිරියන්වරු.
පරිච්ඡේද 40-55 පොරොන්දු හා බලාපොරොත්තු පිළිබඳ පණිවුඩ.
පරිච්ඡේද 56-66 අනතුරු ඇඟවීම් හා පොරොන්දු.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy