යෙසායා 38
38
හෙසකියා රජුගේ රෝගය සහ සුවය
(2 රාජා 20:1-11; 2 වංශා 32:24-26)
1ඒ කාලයේ දී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්ර වූ යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “ඔබ සනීප නොවී මැරෙන බැවින් සියලු දේ පිළියෙළ කොට තැබිය යුතු යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
2එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, 3“අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.
4එවිට සමිඳාණන් වහන්සේ යෙසායාට අණ කරමින්, 5හෙසකියා වෙත ආපසු ගොස් මෙසේ කියන ලෙස වදාළ සේක: “නුඹේ ආදි පියා වූ දාවිත් රජුගේ දෙවි ස්වාමීන් වන මම නුඹේ යාච්ඤාව ඇසීමි; නුඹේ කඳුළු දිටිමි. තව අවුරුදු පහළොවක් ජීවත් වීමට මම නුඹට වරම් දෙමි. 6මම අසිරියන් අධිරාජයාගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා තවදුරටත් ආරක්ෂා කරමි.”
21යෙසායා#38:21 පරිඡේදය අගට ඇති 21-22 පද දෙක හය වන පදයට පසු යොදා ඇත. (2 රාජා 20:6-9 බලන්න) කතා කොට, “අත්තික්කා පලවලින් සාදාගත් විලේපනයක් වණය පිට තබන්නැ”යි ද, “එවිට සුවය ලැබෙන්නේ ය”යි ද රජුට කීවේ ය. 22හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය.
7යෙසායා පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ සිය පොරොන්දුව ඉටුකරන බවට ඔබට ලකුණක් දෙන සේක. 8එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය.
9ජුදාහි රජ වූ හෙසකියා රෝගී ව සිට සුවපත් වූ පසු හෙතෙම මේ ප්රශංසා ගීතය ලිව්වේ ය:
10“මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.
11ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි.
12ගලවා, ඉවතදැමූ එඬේර කූඩාරමක් සේ මාගේ ජීවිතය අවසන් වේ යැයි මම සිතුවෙමි.
වියන්නා, යන්ත්රයේ වියන රෙද්ද අකුළා, කපාදමන සේ දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.
13සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි.
දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.
14මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය;
වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි;
පරවියෙකු මෙන් වැලපුණෙමි.
උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය.
අහෝ, සමිඳුනි!
මේ සියලු දුකින් මා මිදුව මැනව.
15මම කුමක් කියම් ද?
මා මැසිවිලි කියන්නේ කෙසේ ද?
මෙය කෙළේ සමිඳාණෝ ම ය.
ජීවිතය මට තිත්ත වී ඇත;
මට නිදාගත නොහැක.
16අහෝ, සමිඳුනි!
මිනිසාගේ ජීවිතය මෙබඳු වන්නේ ය.
මා සුවපත්කර, මා ජීවත් කළ මැනව.
17එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත.
ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක;
මාගේ සියලු පව් කමා කරන සේක.
18ඔබට තුති පිදීමට පාතාලයට නොහැක;
ඔබට ප්රශංසා කිරීමට මරණයට නොහැක.
ඔබ කෙරෙහි විශ්වාස කරන්න මළගියවුන්ට නොහැක.
19මා ඔබට දැන් ප්රශංසා කරන්නාක් මෙන් ඔබට ප්රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය.
ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති.
20“සමිඳාණෙනි, ඔබ මා සුවපත් කළ සේක.
එබැවින් අපි දිවි හිමියෙන් වීණා වාදනය කරමින්, ඔබට ප්රශංසා කරමු;
ඔබේ මාලිගාවේ දී ඔබට ප්රසංසා කරමු.”#38:20 21,22 පද හය වන පදයට පසුව සඳහන් වේ #38:20 21-22 පද හය වන පදයට පසුව සඳහන් වේ
Currently Selected:
යෙසායා 38: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society