YouVersion Logo
Search Icon

ගලාති 4

4
දේව දරුකම ලැබීම
1මා අදහස් කරන්නේ මෙය යි: උරුමක්කාරයා සියල්ලට ම හිමිකාරයා වන නමුත්, ඔහු බාල වයස් කාරයෙකු ව සිටින තාක්, දාසයෙකුට වඩා වෙනසක් නැත. 2පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි. 3එසේ ම අපිත් බාල වයස්කාරයන් ව සිටිය දී විශ්වයේ දෙවිදේවතාවන්ට වහල් ව සිටියෙමු. 4එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. 5#රෝම 8:15-17 එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය. 6තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, “අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක. 7මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි.
ගලාතිවරුන් ගැන සැලකිල්ල
8එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය. 9එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබිය දී, නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබිය දී, ඔබ ඒ දුර්වල, නිෂ්ඵල දෙවිදේවතාවුන්ට වහල්වීමේ ආශාවෙන්, නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේ ද? 10ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය. 11සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.
12සහෝදරවරුනි, මා ඔබෙන් උදක් ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියා ය. වරක් මමත් ඔබ හා සමාන ව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත. 13මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය. 14එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය. 15එසේ නම්, ඔබට තිබුණු ඒ ප්‍රීතිය දැන් කොයි ද? ඔබගේ ඇස් උගුළා මට දෙන තරමට වුව ද ඔබ සූදානම් ව සිටි බව සහතික ලෙස කිව හැකි ය. 16දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?
17මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි. 18යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි. 19මාගේ දරුවෙනි, ඔබ තුළ ක්‍රිස්තු ගතිගුණ හැඩගැසෙන තුරු, ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි. 20ඒ නිසා හැකි නම් ඔබ සමඟ සිට වෙන පිළිවෙළකට ඔබට කතා කරන්න කැමැත්තෙමි. මන්ද, ඔබ ගැන මාගේ සිත වියවුල් වී තිබේ.
ගිවිසුමේ පූර්වාදර්ශ: සාරා හා හාගර්
21ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න. 22#උත් 16:15; 21:2ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි. අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි. 23වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නෝ ය. 24මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය. 25සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය. 26එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය. 27#යෙසා 54:1 ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත:
“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න.
මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”
28සහෝදරයෙනි, ඔබ ඊසාක් ලෙස පොරොන්දුවේ දරුවෝ ය. 29#උත් 21:9 එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේ දී පීඩා කළ ලෙස, දැනුත් පීඩා කරනු ලැබේ. 30#උත් 21:10එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද් ද? “වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නාදමන්න; මන්ද, නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට, වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේ ය” යනුයි. 31එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.

Currently Selected:

ගලාති 4: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy