එස්තර් 3
3
ජුදෙව්වරුන්ට විරුද්ධ ව හාමාන්ගේ උපාය
1මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය. 2රජ වාසල සිටි රජුගේ සියලු සේවකයෝ ද හාමාන්ට හිස නමා ආචාර කළෝ ය. මන්ද, එසේ කරන ලෙස රජු අණ කර තිබුණේ ය. එහෙත්, මොර්දෙකයි ඔහුට හිස නැමුවේ වත්, ආචාර කෙළේ වත්, නැත. 3එවිට රජ වාසල සිටි රජුගේ සේවකයෝ කතා කොට, “ඔබ රජුගේ අණ කඩ කරන්නේ මන්දැ”යි මොර්දෙකයිගෙන් ඇසූ හ. 4ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත්, ඔහු සවන් නුදුන් බැවින්, මොර්දෙකයිගේ මේ හැසිරීම ඉවසනු ලැබේ ද කියා බලන පිණිස ඔව්හු හාමාන්ට ඒ බව දැන්නූ හ. මන්ද, තමා ජුදෙව්වෙකු බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේ ය. 5මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය. 6එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.
ජුදෙව්වරුන් ඝාතනය කිරීමේ නියෝගය
7අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන අවුරුද්දේ නිසාන් මාසය නම් පළමු වන මාසයේ පටන්, හාමාන් ඉදිරියෙහි දවසින් දවස, මාසයෙන් මාසය අදාර් මාසය නම් දොළොස් වන මාසය දක්වා ඔව්හු පූර් නම් පස ඇට දැමූ හ.
8එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කතා කොට, “ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර ගොස් වෙන් ව සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස් ය. ඔවුන් රාජකීය ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින්, ඔවුන්ට සිටින්නට ඉඩ දීම රජ්ජුරුවන්ට වටින්නේ නැත. 9රජතුමා සතුටු නම්, ඔවුන් නැති කර දමන හැටියට නියෝගයක් පැණවිය යුතු ය. එසේ කළොත් මම රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී කිලෝග්‍රෑම් තුන්ලක්ෂ හතළිස්දාහක් කිරා දෙන්නෙමි”යි කීවේ ය.
10රජ තමාගේ අතින් මුදුව ගලවා ජුදෙව්වරුන්ගේ සතුරා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී ඔහුට කතා කොට, 11“රිදී ඔබට දී ඇත; සෙනඟත් දී ඇත; ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්නැ”යි කීවේ ය.
12එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී. 13අදාර් මාසය නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා තරුණයන් ද මහල්ලන් ද බාලයන් ද ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ ම නැති කර දමන්නත්, මරන්නත්, සමූලඝාතනය කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් කියා රජුගේ සියලු රටවලට දූතයන් අත ලියුම් යවන ලදී. 14ඒ දවසට සූදානම් ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු රටවැසියන් අතර ප්‍රසිද්ධ කරන ලදී.
15දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.
Currently Selected:
එස්තර් 3: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society