YouVersion Logo
Search Icon

දානියෙල් 6

6
දානියෙල් මැරීමට උපාය
1දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය. 2ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය. 3දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය. 4මෙයට අසතුටු වූ ඇමතිවරු හා දිශාධිපතිවරු දානියෙල්ගේ පාලනයේ යම් වරදක් සොයන්නට මාන බැලුවෝ ය. එහෙත්, එවැනි කිසි ම වරදක් ඔවුන්ට සොයාගත නොහැකි විය. මන්ද, ඔහු විශ්වාසවන්ත ව කටයුතු කෙළේ ය. ඔහුගේ කිසි වරදක් වත්, දෝෂයක් වත් නො වී ය. 5එවිට ඔව්හු, “දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කරන පිණිස ඔහුගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයා ගත්තොත් මිස, අන් කිසි කරුණක් අපට කිසි කලෙක සොයාගත නොහැකි ය”යි කී හ.
6එබැවින් ඇමතිවරු ද දිශාධිපතිවරු ද මෙසේ කී හ: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! 7ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරු ද මන්ත්‍රීවරු ද ආණ්ඩුකාරයෝ ද වන අපි ඉදිරිපත් කරන රාජඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒකමතික ව තීරණය කරගනිමු. එනම්, ‘තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු රජතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ හෙළනු ලැබේ ය’ කියා ය. 8ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.” 9දාරියුස් රජ ඒ ආඥා පත්‍රය අත්සන් කෙළේ ය.
දානියෙල් සිංහ ගුහාවට හෙළනු ලැබීම
10රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට, ඔහු ගෙදර ගොස්, උඩුමහල් මැදුරේ කවුළු ජෙරුසලම දෙසට ඇරී තිබිය දී, පුරුදු පරිදි දිනකට තුන් වරක් දණින් වැටී, තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තූති පුද කෙළේ ය.
11දානියෙල් වරදකට අසු කිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, දානියෙල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා හා කන්නලව් කරනු දුටුවෝ ය. 12එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, “රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. “එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය.
13එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, “රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.
14රජතුමා මේ වචන ඇසූ විට, ඉමහත් සංවේගයට පත් වී, දානියෙල් ගළවාගන්නට ඉටාගෙන, ඉර බසින තුරු ඒ ගැන මොළය වෙහෙසා කල්පනා කෙළේ ය. 15එකල ඒ පිරිස රජු වෙත පැමිණ, “රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද නීතිය අනුව රජු විසින් පනවන ලද නියෝගයක් වෙනස් කළ නොහැකි බව ඔබතුමාට මතක් කරනු කැමැත්තෙමු”යි කී හ.
16එවිට රජතුමා දානියෙල් ගෙනවුත් සිංහ ගුහාවේ දැමීමට නියමයක් කෙළේ ය. එහෙත්, ඔහු දානියෙල්ට කතා කොට, “ඔබ නිරන්තරයෙන් ම නමස්කාර කරන, ඔබේ දෙවියන් වහන්සේ ඔබ ගළවන සේක් වා!”යි කී ය. 17තවද, දානියෙල් සම්බන්ධයෙන් කරන ලද නියමය වෙනස් නොකළ හැකි වන ලෙස, ගලකින් සිංහ ගුහාවේ කට වසා, එය රාජ මුද්‍රාවෙන් ද උත්තමයන්ගේ මුද්‍රාවලින් ද මුද්‍රා කරනු ලැබී ය.
දානියෙල් ගළවනු ලැබීම
18රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය. 19උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දී ම ඔහු නැඟිට සිංහ ගුහාව ළඟට යුහු යුහු ව ගියේ ය. 20දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, “ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය.
21එවිට දානියෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! 22මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”
23එවිට රජතුමා ඉතා සන්තෝෂ වී, දානියෙල් ගුහාවෙන් ගොඩට ගන්නට අණ කෙළේ ය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නා ලදී. ඔහුට සුළු තුවාළයක් වත් සිදු වී තිබුණේ නැත. එසේ වන්නට හේතුව ඔහු තමාගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි. 24ඉන්පසු රජතුමා දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කළ අය, ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ සිංහ ගුහාවට දමන්නට අණ කෙළේ ය. ඔවුන් ගුහාවේ පතුළට පැමිණෙන්නටත් පෙර සිංහයෝ ඔවුන් පිට කඩා පැන ඇටකටු පිටින් ඔවුන් කැබලිකොට දැමූ හ.
දාරියුස් රජ රාජාඥාවක් නිකුත් කිරීම
25දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා! 26මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද,
එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය.
එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය;
එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.
27ගළවන්නේත්, නිදහස් කරන්නේත්, අහසේ ද පොළොවේ ද හාස්කම් ද අරුමපුදුම දේ ද කරන්නේත් එතුමාණෝ ය.
සිංහයන්ගේ බලයෙන් දානියෙල් මුදාගත්තේත් එතුමාණෝ ය”
28මේ නිසා දාරියුස්ගේ රාජ්‍ය කාලයේ දී ද පර්සියානු ජාතික සයිරස්ගේ රාජ්‍ය කාලයේ දී ද දානියෙල් තෙමේ සෞභාග්‍යයෙන් වැජඹුණේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy