YouVersion Logo
Search Icon

දානියෙල් 5

5
බෙල්ෂෙසර් රජුගේ මංගල්‍ය උත්සවය
1බෙල්ෂෙසර් රජු සිය උත්තමයන් දහසකට මහා මංගල උත්සවයක් පිළියෙළ කර ඔවුන් සමඟ මත්පැන් බීවේ ය. 2ඔහු බොමින් සිටිය දී, ඔහුගේ පියා වූ නෙබුකද්නෙශර් ජෙරුසලමේ දේව මාලිගාවෙන් කොල්ලකාගත් රන් රිදී භාජනවලින් තමා ද තමාගේ උත්තමයන් ද සිය භාර්යාවන් ද උපභාර්යාවන් ද බොන පිණිස ඒවා ගෙනෙන්නට අණ කෙළේ ය. 3එවිට ඔව්හු ජෙරුසලමේ දේව මාලිගාවේ සිද්ධස්ථානයෙන් පැහැරගෙන එන ලද රන් රිදී භාජන ගෙනාහ. රජ ද ඔහුගේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. 4ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.
බිත්තියෙහි සඳහන් වූ ලියවිල්ල
5එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය. 6එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය. 7එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය. 8එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය. 9එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය.
10රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: “රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න. 11දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී. 12රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය.
දානියෙල් බිත්තියේ ලියවිල්ල පහදා දීම
13එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, “මාගේ පිය රජ්ජුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද? 14දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත. 15මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය. 16ඔබට අර්ථකථනය කිරීමටත් ගැටපද විවරණය කිරීමටත් හැකි බව මම අසා ඇත්තෙමි. මෙම ලියවිල්ල කියවා එහි අර්ථය පහදා දීමට හැකි නම්, ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබ පත් කරමි”යි කී ය.
17එවිට දානියෙල්, රජු ඉදිරියේ මෙසේ කී ය: “ඔබේ දීමනා ඔබ ම තබාගනු මැනවි. ඔබේ තෑගි අන් කෙනෙකුට දෙනු මැනවි. කෙසේ වෙතත් මෙම ලියවිල්ල කියවා එය රජ්ජුරුවන්ට පහදා දෙන්නෙමි.
18“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක. 19උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය. 20එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය. 21මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තම දෙවියන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකු උන් වහන්සේ ඒවායේ පාලනය කිරීමට පත් කරන බවත් දැනගන්නා තුරු ඔහු ජන සමාජයෙන් පිටමං කරනු ලැබී ය. ඔහුගේ සිත මෘගයෙකුගේ සිත මෙන් විය. වල් කොටළුවන් සමඟ ජීවත් වී, ගොනුන් මෙන් තණ කොළ කන්නට ඔහුට සිදු විය. ඔහුගේ සිරුර අහසේ පින්නෙන් තෙමුණේ ය.
22“ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. 23තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත. 24උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි.
25“ලියන ලද ලියවිල්ල නම්: ‘මෙනේ, මෙනේ, තෙකේල් උ-පාර්සීන්’ යනු යි. 26එහි අර්ථය මෙසේ ය: ‘මෙනේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙළවර කළ සේකැ යි අදහස් කර ඇත. 27‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ, බරෙන් අඩු බව අදහස් කෙරේ. 28‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”
29එකල බෙල්ෂෙසර්ගේ අණ පිට දානියෙල් රක්ත-නීල වස්ත්‍රයක් හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා ය, කියා ඔහු ගැන ප්‍රසිද්ධ කරන ලද්දේ ය. 30එම රාත්‍රියේ ම කල්දිවරුන්ගේ රජ වූ බෙල්ෂෙසර් මරන ලද්දේ ය. 31අවුරුදු හැටදෙකක් පමණ වයස් ව සිටි මේදීය ජාතික දාරියුස් තෙමේ රාජ්‍යය භාරගත්තේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy