YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 6

6
ගිවිසුම් කරඬුව ආපසු බාර දීම
1සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබිණි. 2පිලිස්තිවරු පූජකයන් ද පේන කියන්නන් ද කැඳවා, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද? එය ස්වකීය ස්ථානයට කුමන දෙයක් සමඟ යැවිය යුතු ද කියා අපට දන්වන්නැ”යි කී හ.
3ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු යවන්නහු නම්, එය හිස් අතින් නෑර, ඔබේ පව් වෙනුවෙන් වන්දි පූජාවක් උන් වහන්සේට යවන්න. එවිට ඔබ සුව වන්නහු ය. උන් වහන්සේගේ බාහු බලයෙන් කෙරෙන පීඩා ඔබ කෙරෙන් පහ ව නොයන්නේ කුමක් නිසා ද කියා ඔබට දැනගන්නට ලැබෙනු ඇතැ”යි කීවෝ ය.
4“අප කුමන වන්දි පූජාවක් ගෙවිය යුතු දැ”යි ඔව්හු ඇසූ හ. පූජකවරු හා පේන කියන්නෝ පිළිතුරු දෙමින්, “පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන අනුව රනින් කළ ගඩු රූප පහකුත්, රනින් කළ මීයන් පස්දෙනෙකුත් ය. මන්ද, ඔබ සියල්ලන් හා ඔබේ අධිපතීන් කෙරෙහි පැමිණුණේ එක ම පීඩාවක් ය. 5එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත. 6මිසරවරුන් හා පාරාවෝ ඔවුන්ගේ සිත් දැඩි කරගත් ලෙස ඔබත් සිත් දැඩි කරගන්නේ කුමට ද? උන් වහන්සේ ඔවුන් මෝඩයන් කළ විට ඔවුන් සෙනඟට යන්නට අවකාශ දුන්නා නොවේ ද? ඉශ්රයෙල්වරුන් පිටත් ව ගියා නොවේ ද? 7දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න. 8ඉන්පසු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගැල මත තබා, වන්දි පූජාව පිණිස උන් වහන්සේට දෙන රන් භාණ්ඩ එහි පැත්තක කුඩා කරඬුවක තබා ගැල යන දෙසක යන්නට එයට ඉඩ හැර බලා සිටින්න. 9ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.
10ඔව්හු එලෙස කරමින්, කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් ගාල් කොට තබා, 11සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ. 12එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ.
13බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝ ය. ඔව්හු හිස ඔසවා බලා, ගිවිසුම් කරඬුව දැක ප්‍රීතියෙන් පිනා ගියහ. 14ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය. 15ලෙවීවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් භාණ්ඩ දමා තිබුණු කරඬුව ද ගෙන, මහ ගල මත තැබූහ. බෙත්-ෂෙමෙෂ් වැසියෝ ඒ දවසේ දී සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කොට, පඬුරු ද පිදුවෝ ය. 16පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙන ඒ දැක එදා ම එක්‍රොන්ට හැරී ගියහ.
17පිලිස්තිවරු වන්දි පූජාවක් වශයෙන්, අෂ්දොද් උදෙසා ද ගාසා උදෙසා ද අෂ්කෙලොන් උදෙසා ද ගාත් උදෙසා ද එක්‍රොන් උදෙසා ද එක එක බැගින් රනින් කළ ගඩු යැවූහ. තවද, ඔව්හු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා විසින් පාලනය කරන ලද නගර වෙනුවෙන් එකකට එක රූපයක් බැගින් රනින් කළ මී රූප යැවූහ. 18ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.
19බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.
කිරියත්-ජෙයාරීම්හි ගිවිසුම් කරඬුව තැබීම
20බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “සමිඳාණන් වහන්සේ වන ශුද්ධ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින්නට පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ අප වෙතින් බැහැර කරන පිණිස ගිවිසුම් කරඬුව කොතැනට යැවිය හැකි දැ”යි ඇසුවෝ ය. 21ඔව්හු කිරියත්-ජෙයාරීම්හි වැසියන් වෙත දූතයන් අත පණිවුඩයක් යවමින්, “පිලිස්තිවරුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු එවා තිබේ; අවුත් එය ගෙන යන්නැ”යි කී හ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy