YouVersion Logo
Search Icon

1 රාජාවලියේ 16

16
1එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාට විරුද්ධ ව හනානීගේ පුත් ජේහු වෙත පැමිණියේ ය. 2එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය. 3එබැවින් මම, බාෂා සහ ඔහුගේ වංශය සහමුලින් ම වනසාදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් වූ ජෙරොබෝවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි. 4බාෂාට අයිති, නගරයේ දී මැරෙණ අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙණ ඔහුට අයිති අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.”
5බාෂා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ දේවල් ද ඔහුගේ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 6බාෂා මරණයට පත් වූ පසු තිර්ශාහි භූමදාන කරන ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය.
7තවද, හනානීගේ පුත් දිවැසිවර ජේහු අතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාටත්, ඔහුගේ වංශයටත් විරුද්ධ ව පැමිණියේ ය. එසේ වූයේ, ඔහු ජෙරොබෝ-වම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිඳාණන් වහන්සේ කෝප කරවමින් උන් වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත්, ඔහු ඒ වංශය නැසූ නිසාත් ය.
ඒලා ඉශ්රායෙල්වරුන්ගේ රජ වීම
8ජුදාහි රජ වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ දී බාෂාගේ පුත් ඒලා ඉශ්රායෙල්වරුන්ගේ රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය. 9ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට, 10එහි ඇතුළු වී ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී ඔහුට පහර දී, ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
11මෙසේ ඔහු රජ වී ස්වකීය සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන් වත්, මිත්‍රයන්ගෙන් වත්, කිසි පිරිමියෙකු ඉතුරු නොකොට ඔහුගේ වංශයේ සියල්ලන් මරාදැම්මේ ය. 12මෙසේ සිම්රී, බාෂාගේ මුළු වංශය විනාශ කෙළේ, බාෂා ද ඔහුගේ පුත් ඒලා ද තමන්ගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවමින් ඔවුන් විසින් කරන ලද, 13ඉශ්රායෙල්වරුන්ට කිරීමට සලස්වන ලද ඔවුන්ගේ සියලු පාප නිසා උන් වහන්සේ දිවැසිවර ජේහු ලවා බාෂාට විරුද්ධ ව දෙන ලද තමන් වහන්සේගේ පණිවුඩය හැටියට ය. 14ඒලා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
සිම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වීම
15ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී සිම්රී තිර්ශාහි සත් දවසක් රජකම් කෙළේ ය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා කඳවුරු බැඳගෙන සිටියෝ ය. 16‘සිම්රී කුමන්ත්‍රණ කොට රජුටත් පහර දුන්නේ ය’ කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට, සියලු ඉශ්රායෙල්වරු ඔවුන්ගේ සේනාපති වූ ඔම්රී ඒ දවසේ කඳවුරේ දී ඉශ්රායෙල්වරුන්ගේ රජ ලෙස පත් කළෝ ය. 17ඔම්රී ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිබ්බෙතොන් නගරයේ සිට ගොස් තිර්ශා වටලා ගත්තෝ ය. 18තවද, නගරය අල්ලාගත් බව සිම්රී දුටු විට ඔහු රජ මාලිගාවේ බලකොටුවට ඇතුළු වී රජ මාලිගාවට ගිනි ලා ගෙන මළේ ය. 19එසේ වුණේ, ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වන ලෙස ඔහු කළ පාපයේ හැටියට ද හැසිරෙමින් ඔහු කළ පාප නිසා ය. 20සිම්රී පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ ද්‍රෝහිකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
21එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ. 22එහෙත්, ඔම්රීට එකතු වුණ සෙනඟ ගීනත්ගේ පුත් තිබ්නීට එකතු වූ සෙනඟ පරාජය කළෝ ය. මෙසේ තිබ්නී මළේ ය. ඔම්රී රජ විය.
ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වීම
23ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය. 24ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය. 25ඔම්රී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලන්ට ම වඩා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ ය. 26මන්ද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු මාර්ගවල ද තමාගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල්වරුන්ට කරන්නට සැලැස්සූ ඔහුගේ පාප හැටියට ද පව් කෙළේ ය. 27ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? 28ඔම්රී මරණයට පත් වූ විට සමාරියෙහි භූමිදාන කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය.
ආහබ් රජකමට පැමිණීම
29ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. 30ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. 31තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය. 32ඔහු සමාරියේ ගොඩනැඟුවාවූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක් ද අෂේරා කප් කණු ද සෑදී ය. 33ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ක්‍රියා කෙළේ ය. 34#ජෝෂු 6:26ඔහුගේ කාලයේ දී බෙතෙල්හි හීයෙල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනඟන ලදී. සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ලෙස, ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුඳුලා වන අබිරාම් ද ඔහු එහි දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත් සෙගුබ් ද නැසුණෝ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy