1 වංශාවලියේ 18
18
දාවිත් රජ විජාතීන් යටත් කිරීම
(2 සාමු 8:1-18)
1මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය. 2ඔහු මෝවබ්වරුන්ටත් පහර දුන්නේ ය. මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනා හ.
3තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී, 4රථ දහසක් ද අසරුවන් සත්දහසක් ද පා බළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරු කරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කපා අබලම් කෙළේ ය.
5දමස්කයේ සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්න ආවෝ ය. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහර දී, 6දමස්කයේ සිරියාවෙහි මුර හමුදාවල් තැබුවේ ය. සිරියන්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනාවෝ ය. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත්කර දුන් සේක. 7දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබූ රන් පලිස් රැගෙන ඒවා ජෙරුසලමට ගෙනාවේ ය. 8#1 රාජා 7:40-47; 2 වංශා 4:11-18 තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.
9දාවිත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජ වූ තොයු අසා, 10දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් බැවින්, දාවිත්ට ආචාර කරන්නටත්, ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී ලෝකඩ බඩුත් එවී ය. මන්ද, හදද්-එශෙර් සහ තොයු අතරේ යුද්ධ තිබිණි. 11ඒ බඩුත් දාවිත් රජු සියලු ජාතීන්ගෙන් එනම්, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද ගත් රන් රිදී සමඟ සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.
12 #
ගීතා 60
ඇරත්, ශෙරුයාගේ පුත් අබිෂයි ලුණු මිටියාවතේ දී ඒදොම්වරුන්ගෙන් දහඅටදහසකට පහර දුන්නේ ය. 13ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබී ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
14දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය. 15ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාධිපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ව සිටියේ ය. 16අහිතුබ්ගේ පුත් ශාදොක් සහ අබියාතර්ගේ පුත් අබිමෙලෙක් පූජකයන් ව සිටියෝ ය. ෂව්ෂා ලේකම් ව සිටියේ ය. 17ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.
Currently Selected:
1 වංශාවලියේ 18: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society