YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 3

3
රූත් බෝවස්ගෙන් කළ ඉල්ලීම
1එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, නුඹට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් නුඹට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද? 2ඉතින් නුඹ සමග සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය. 3එබැවින් නුඹ නා, තෙල්ගාගෙන, නුඹේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු නුඹ දකින්ට ඔහුට ඉඩනාරින්න. 4ඔහු නිදාගන්න විට, ඔහු නිදාගන්න තැන බලාගන ඇතුළට ගොස් ඔහුගේ පාවැසුම් ඇර නිදාගන්න; එවිට නුඹ විසින් කළ යුතු දේ ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවාය. 5නුඹ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය. 6ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය. 7බෝවස් කා බී ඔහුගේ සිත ප්‍රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය. 8මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: නුඹ කවුදැයි ඇසීය. 9ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය. 10ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය. 11දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; නුඹ කියන සියල්ල නුඹට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති. 12ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය. 13අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය. 14ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය. 15තවද ඔහු: නුඹ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය. 16ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, නුඹ කවුදැයි ඇසුවාය. 17එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා–නුඹේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය. 18එවිට ඈ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුර නිවාඩු නොගන්නේයයි කීවාය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy