රූත්ගේ කථාව 2:14-23
රූත්ගේ කථාව 2:14-23 SROV
කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය. ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය. ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය. ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය. එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ ළඟම නෑයෙක්යයි ඈට කීවාය. මෝවබිය රූත්ද: එසේය, ඔහු මට කථාකර–මාගේ ගොයම් සියල්ල කපා තීන්දුකරන තුරු නුඹ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවේයයි කීවාය. නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් නුඹට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමග යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය. මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමග විසුවාය.


![[Ruth] Recognizing the Covenant Relationship රූත්ගේ කථාව 2:14-23 Sinhala Revised Old Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32171%2F1440x810.jpg&w=3840&q=75)


