YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 1

1
නායොමි මෝවබ්හි විසීම සහ රූත් සමග හැරී ඒම
1තවද විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවබ් දේශයෙහි වසන පිණිස ගියේය. 2ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය. 3නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය. 4ඔව්හු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය. 5මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය. 6එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය. 7ඈද ඈ සමග ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යූදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය. 8නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා. 9නුඹලා එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාට වර දෙනසේක්වයි කීවාය. ඉක්බිති ඕතොමෝ ඔවුන් සිඹගත්තාය. ඔව්හුද ශබ්දනගා අඬා: 10නැත, අපි නුඹ සමග නුඹේ සෙනඟ වෙතට යන්නෙමුයයි ඈට කීවෝය. 11නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද? 12මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්ට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්, 13ඔවුන් වැඩෙන තෙක් නුඹලා පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවේය; ස්වාමීන්වහන්සේගේ අත මට විරුද්ධව තිබෙන නිසා නුඹලාගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය. 14ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය. 15ඈ කථාකොට: බලව, නුඹේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. නුඹේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය. 16රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක. 17නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය. 18එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය. 19මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය. 20ඈද: මට#1:20එනම්, ප්‍රසන්න, මිහිරි. නායොමියයි නොකියා මාරායයි#1:20එනම්, තික්ත. කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක. 21මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිස්කොට නැවත ගෙනාසේක. ස්වාමීන්වහන්සේ මට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී, නුඹලා මට නායොමිය කියන්නේ මක්නිසාදැයි කීවාය. 22මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy