YouVersion Logo
Search Icon

රෝම 15

15
1ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය. 2අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා. 3මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක. 4මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය. 5නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, 6ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා. 7එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න. 8මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූසේකැයි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්, 9අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට:
එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි
ලියා තිබේ. 10නැවතත්:
අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි
කියා තිබේ. 11නැවතත්:
සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න;
සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි
කියා තිබේ. 12නැවතත් යෙසායා:
යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක;
උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි
කියයි. 13ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
ප්‍රේරිත තැන තම අදහස් නොවලහා ලියා යැවීමට හේතුව
14මාගේ සහෝදරයෙනි, නුඹලාම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි. 15එහෙත් මා විසින් නුඹලාට නැවත සිහිකරවන්ට මෙන් වඩා නිර්භීතකමින් තරමක් දුරට ලියන්නේ, අන්‍යජාතීන් නමැති පූජාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධකරනලදුව පිළිගත යුතු වන පිණිස, 16දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය. 17එහෙයින් දෙවියන්වහන්සේට අදාළ කාරණා ගැන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ පාරට්ටු කරගැනීමක් තිබේ. 18මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද, 19ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි. 20එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:
21උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි
ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්‍රායකෙළෙමි.
ප්‍රේරිත තැනගේ යෝජනා පිළිවෙළ
22නුඹලා ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය. 23නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් නුඹලා ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද, 24මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමනේදී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.) 25නුමුත් දැනට මම ශුද්ධවන්තයන්ට උපස්ථාන කරන පිණිස යෙරුසලමට යමි. 26මක්නිසාද යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්නවූවෝය. 27එසේය, එය ඔවුන්ගේ ප්‍රසන්නය වූයේය; තවද ඔව්හු ඔවුන්ගේ ණයකාරයෝය. මක්නිසාද අන්‍යජාතීහු ඔවුන්ගේ ආත්මික දේවල පංගුකාරයෝ වූවෝ නම්, මාංසික දේවලින් ඔවුන්ටත් සේවයකිරීමට ඔව්හු ණයව සිටිති. 28එහෙයින් මම මෙය ඉෂ්ටකර, මේ ඵලය ඔවුන්ට මුද්‍රාකොට දුන් ඉක්බිති, නුඹලා ළඟින් ස්පාඤ්ඤයට යන්නෙමි. 29මා නුඹලා ළඟට එන කල ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදයේ පූර්ණත්වය ඇතුව මා එන බව දනිමි. 30සහෝදරයෙනි, යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්න වන ලෙසත්, 31දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන සතුටින් නුඹලා ළඟට ඇවිත් නුඹලා සමඟ නිවාඩු ලබන ලෙසත්, 32නුඹලා මා උදෙසා දෙවියන්වහන්සේට කරන නුඹලාගේ යාච්ඤාවලදී මා සමඟ බලවත්ලෙස වීර්යකරන හැටියට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාද ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාද නුඹලාගෙන් ඉල්ලමි. 33ඉඳින් සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා. ආමෙන්.

Currently Selected:

රෝම 15: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy