YouVersion Logo
Search Icon

රෝම 1:16-32

රෝම 1:16-32 SROV

මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය. කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ. මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ; මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශකළසේක. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති. මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය. තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව, ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය. එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක. එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්. ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය. තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක. ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව, කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව, අඥානයෝව, ගිවිසුම් කඩකරන්නෝව ජම්ම ස්නේහය නැත්තෝව, දයා නැත්තෝව සිටියෝය. මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.

Free Reading Plans and Devotionals related to රෝම 1:16-32